easter-attack-warninngs

මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සිදුවීමට ආසන්න දින කිහිපයකදී, එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරු අවස්ථා 7කදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන විසින් නිලධාරීන්ට ලබා දී ඇති බවට පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළි විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් 2019.04.04, 2019.04.18, 2019.04.20 සහ 2019.04.21 යන දින හතර තුළ තොරතුරු ලැබී ඇති බවට සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස ලැබුණු සියලු බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පහත සඳහන් පරිදි දැනුම්දී ඇති බව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා යොමු කළ ප්‍රශ්නයකට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අවස්ථා 07කදී බුද්ධි තොරතුරු පහත සඳහන් පරිදි රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

2019.04.07 දින S 1612/2019 දරන ලිපිය මගින් 2019.04.04 දින විදේශ බුද්ධි ආයතනයක් වෙතින් ලබාදුන් බුද්ධි තොරතුර දැනගැනීම හා උපදෙස් පතා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත ලිඛිතව යොමු කර ඇත,

2019.04.04 දින විදේශ බුද්ධි ආයතනයකින් ලද තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රහාරය පිළිබඳ තොරතුරු 2019.04.09 දින අංක S 1612/2019 දරන ලිපිය මගින් පොලිස්පති පූජිත් ජයසුන්තර මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත,

2019.04.18 දින අංක S 1758/2019 දරන ලිපිය මගින් 2019.04.16 දින තාලංකුඩා ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරවා හැරීම සහරාන්ගේ ජාලයට සම්බන්ධිතයන් විසින් යම් පිපිරීමක් සිදුකිරීමට පෙර සිදුකරන ලද පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමක් බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ලිඛිතව දැනුවත් කර ඇත,



2019.04.19 දින අංක S 1758/2019 දරන ලිපිය මගින් තාලංකුඩා යතුරුපැදිය පුපුරවා හැරීම සම්බන්ධ වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමග සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිත වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් රවී සෙනෙවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත,

2019.04.20 දින අංක S 1758/2019 දරන ලිපිය මගින් සහරාන් ගැවසෙන ප්‍රදේශ සහ ඔවුන්ගෙ ජාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුර වාර්තාවක් මගින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වෙත ලිඛිතව දැනුවත් කර ඇත,

2019.04.20 දින WhatsApp/ Text පණිවිඩ මගින් 2019.04.21 දින හෝ එම දිනට පෙර ඕනෑම වේලාවකදී ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යාම සඳහා කරන ප්‍රහාරයක් (lsuishhad) දියත් කිරීමේ සූදානමක් පවතින බවත්,

ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අත්හදා බැලීමක් 2019.04.16 දින තාලංකුඩාහිදී සිදුකළ බවත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා දැනුවත් කර ඇත,

2019.04.21 දින WhatApp පණිවිඩයක් මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා දැනුවත් කර ඇත.

මෙම සියලු තොරතුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී තිබේ.

   දිනේෂ් සමරකෝන්