expressway-stf

අධිවේගී මාර්ගයන්හි රාජකාරි කරන පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් පාතාල මර්දනයට යැයි කියමින් එම සේවාවලින් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.විශේෂ කාර්ය බළකා භටයන් අධිවේගී මාර්ග රාජකාරි වලින් ඉවත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දක්වා ඇතැයිද දැන ගන්නට ඇත.

එවැනි තත්වයක් ඇති වුවහොත් අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්වීම නොවැළැක්විය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.අධිවේගී මාර්ගයේ වාහනයක් හදිසි අනතුරකට ලක් වූ අවස්ථාවක දී යම් ගිනි ගැනීමක් ඇතිවුවහොත් වාහනය තුළ සිරවී සිටින පුද්ගලයන් ක්ෂණිකව ඉවතට ගැනීමේ මෙන්ම ගිනි නිවීමේ හා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ මනා  පුහුණුවකින් සමන්විත

එම භටයන් ඉවත් කිරීම දැඩි ගැටලු සහගත තත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.අධිවේගී මාර්ගය ආරම්භ කර ගිය වසර 12 තුළ ජීවිත සිය ගණනක් බේරාගත් එම භටයන් කළ කාර්ය මිල මුදලින් මැනිය නොහැකි බවද එම නිලධාරියා පැවැසීය.

කටුනායක සිට මත්තල දක්වා සීදූව, ගැලනිගම, කුරුඳුගහහැතැක්ම, පින්නදුව සහ සූරියවැව අධිවේගී පිවිසුම් මධ්‍යස්ථාන 5 ක විශේෂ කාර්ය බළකා භටයන් 200 කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර අධිවේගී මාර්ගයේ කිසිදු අපරාධයකට හෝ පාතාල ක්‍රියාවකට හිස එසවීමට අවකාශයක් ලැබී නැත්තේ එම සෙබළුන් රාජකාරියට එහා ගිය සේවාවක් කරමින් මගීන්ගේ ආරක්ෂාව මනා ලෙස තහවුරු කර ඇති නිසා බවද ඔහු සඳහන් කළේය. අධිවේගී මාර්ගය ආරම්භ කළ කාල වකවානුවලදී එහි ගමන් ගන්නා වාහනවලට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ව්‍යසනය මුලිනුපුටා දමා වාහනවල ආරක්ෂාව තහවුරු කිරීමට කිරීමට කටයුතු කළේද එම සෙබළුන් බව ඔහු කීවේය.



දෛනිකව අධිවේගී මාර්ගය පාවිච්චි කරන්නන්ගේ ජීවිත ආරක්ෂා කරන පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් පාතාලය මර්දනය කිරීමට යැයි පවසා අධිවේගී මාර්ග සේවාවෙන් ඉවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.ඊ. එස්. වීරකෝන් මහතා ගෙන් කළ විමසීමේ දී ඔහු කීවේ ‘පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කර ගැනීමට සූදානමක් පවතින බවය.ඔවුන් ඒ ආකාරයෙන්ම රඳවා තබන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් වීරකෝන් මහතා පැවැසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ