eye-protection

ඇස රැක ගත යුත්තේ ඇයි? ඇස ඇස වගේ රැක ගන්න කියලා කියමනක් තියෙනවා.
එහෙම කියන්න හේතුව ඇස් ඉතා සියුම් පටකවලින් සෑදී  තියෙන නිසා මේවාට යම් හානියක් වුවහොත් නැවත නියම ආකාරයට පත්කරන්න අපහසු නිසයි. ස්වභාවයෙන් ඇස් අස්ථි කුහරයක් තුළ පිහිටලා තියෙන්නේ ඇස ආරක්ෂා වෙන්න ඕන නිසා.


ඇසට වූ හානියද සුළු කොට තැකීමෙන් ඇස් අන්ධ වීමටද පුළුවන.

ඇස නිරෝගීව තබා ගැනීම සඳහා මෙම දේවල්වලින් වළකින්න.
තද අව්වේ සිට හෝ අධික උණුසුම් ස්ථානවල සිට එකවරම නෑම, අධික ආලෝකය දෙස කෙළින්ම බැලීම, ඉතා සියුම් දේවල් දෙස වැඩිපුර වේලාවක් බලා සිටීම, අධිකව දුම් දූවිලි, අළු වර්ග ගින්දර, යකඩ කැබලි, වැලිකැට වැදීම, අධිකව දුම් පානය, අධිකව මත්පැන් පානය, තද උණුසුම් ස්ථානවල (පෝරණු) වැඩ කිරීම, අඳුරේදී මෙන්ම තද ආලෝකයේ දී පොඩ් පත්තර කියවීම, රාත්‍රී නිදි වැරීම, පෝෂ්‍යදායක ආහාර නොගැනීම.

ඔබට ඇස් රෝගයක් ඇති විට
ඇසට විවේකය ලබා දෙන්න. වෙනත් රෝගියකු වෙනුවෙන් දී ඇති බෙහෙත් ඇසට නොදමන්න අපිරිසුදු දෑත්වලින් ඇස් අල්ලන්න එපා. ඇසට දාන බෙහෙත් ඉතා පිරිසුදුව තබන්න. කල් ඉකුත් වූ බෙහෙත් ඇසට නොදමන්න. වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව කිසිම බෙහෙතක් ඇසට නොදමන්න.




ඇස්වල මෙම ලක්ෂණ ඇතිනම් වහාම වෛද්‍යවරයකු වෙත යන්න.
පෙනීම අඩුවීම, හදිසියේ ඇස් පෙනීම  නැති වී යෑම, ඇස් රතුවීම, කබ ගැලීම, කඳුළු ගැලීම, කැසීම, ආලෝකය දෙස බැලීමට අපහසු බව, ඇසෙහි ඇතිවන තද වේදනාව, එක වස්තුව දෙකක් මෙන් පෙනීම, ලාම්පු දැල්ල වටා පාට පාට වළලු පෙනීම, කළු තිත් පෙනීම.

ඇසට විපත් ඇතිවිය හැකි අවස්ථා හා වළක්වා ගැනීම.
කෘමිනාශක, වල්නාශක ඉසීමේ දී රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන විට ඒවා ඇස්වලට වැදීම නිසා ඇසේ පටකවලට හානි සිදුවේ. ආරක්ෂක ඇස් වැසුම් දමන්න. වැල්ඩ් වැඩ කිරීමේදී එම ආලෝකයෙන් හා විසිවන සියුම් කැබලි වලින් ඇස තුවාල විය හැකි ය. එබැවින් ආරක්ෂිත කණ්ණාඩ් දමන්න, සීසාන විට දී ඇසට මඩ වතුර ව්සිවීම නිසා ඇසෙහි තුවාල ඇති විය හැකිය. මඩ වතුර විසි වූ වහාම පිරිසුදු ජලයෙන් ඇස් සෝදන්න. වහාම වෛද්‍යවරයකු වෙත යන්න
ඇසට පහර වැදීම්.තැලීම් වුවහොත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යන්න.

බෝවන ඇස් රුදාව ඇතිවිට පිළිපැදිය යුතු කරුණු
අත්වලින් ඇස් අතගාන්න එපා. (රෝගී අය මෙන්ම නිරෝගී අයද)
ඇස් රුදාව ඇති අය සෙනඟ ගැවසෙන තැන්වලට නොයන්න.
ඇස්රුදාව ඇතිව්ට ඇස්වලට විවේකය දෙන්න.
වෛද්‍ය උපදෙස් අනුව ඇසට බෙහෙත් දමන්න.
රෝගියා පාවිච්චි කරන තුවා, කොට්ට උර පොරෝනා, ඇඳ ඇතිරිලි ආදිය නිරෝගි අය පාච්චි නොකළ යුතු ය.
විටමින් ඒ අඩුකම හා මන්ද පෝෂණය තිබෙන අයට (විශේෂයෙන් කුඩා ළමයි) ඇස් රුදාව නිසා කළු ඉංගිරියාවේ තුවාල ඇති විය. හැකි ය. එවැනි තත්ත්වයේ සිටින අය වෛද්‍ය උපදෙස් ලැබිය යුතු ය.



ඇස රැකගැනීමට මෙම උපදෙස් වැදගත් ය.
ඇස වැඩිපුර වෙහෙසීම නිසා ඇසෙහි වේදනාව ඇති වේ. එයින් මිදීමට ඇස් වරින් වර එම ක්‍රියාවෙන් බැහැරව යොමු කරන්න. නැතිනම් සුළු වේලාවක් ඇස් වසා  සිටින්න.
ශීතල වතුරින් පොඟවා ගත් පිරිසුදු කපු රෙදි කැබැල්ලක් ටික වේලාවක් වසාගත් ඇස් මත තබාගෙන සිටීම.
ඇසෙහි යමක් ඇණුන විට ගලවන්න යන්න එපා වහාම අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යන්න.
ඇසට වැල කැටි දුවිලි  ආදිය ගියවිට  ඇස පොඩි  කරන්න එපා සුළු වේලාවක් ඇස් වසා සිටින්න කඳුළු මඟින් ඉවත් නොවේ  නම් පිරිසුදු වතුරෙන් ඇස් සෝදන්න
පිරිසුදු වතුර භාජනයක ඇස් ඔබා ඇස කරකවන්න.
 දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා නියමිත ප්‍රතිකාර කරන්න.
ආහාර පාලනය කරන්න. මේ රෝග නිසා ඇස්පෙනීමේ අපහසුතා හෝ ඇස් අන්ධවීමට පුළුවන. එබැවින් මෙම රෝගීන් මාස කීපයකට වරක් ඇස් පරීක්ෂා කර ගත යුතු වේ. දුර පෙනීමේ හා ළඟ පෙනීමේ අපහසුව ඇතිනම් වෛද්‍යවරයකු ලවා නියම කරගත් ඇස් කණ්ණාඩ් දමන්න

මෙම ආහාර ඔබේ පෙනීම යහපත් කරයි.
කිරි, බිත්තර, මාළු, කැරට්, කහ, බතල, තද, කොළපාට එළවළු, පලා වර්ග, එළඟිතෙල්, මුං ඇට, කඩල, කව්පි, අඹ, පැපොල්. කෙසෙල්. ළදරුවන් සඳහා විශේෂයෙන් මව්කිරි ඉතා ගුණදායකය.

උපදෙස්
වෛද්‍ය දේශප්‍රිය අභයවර්ධන
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය,
වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා
සටහන ජයන්ති කුරේ