father-daughter-death

තම වගාබිමේ ආරක්ෂාවට යොදා තිබූ විදුලි රැහැනක පැටළුණු කොත්මලේ, කොටගේපිටිය, මාඉප්පල ගමේ තිස් දෙහැවිරිදි පියකු හා ඔහුගේ තුන් හැවිරිදි දියණියක ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ සුනිල් ශාන්ත කුමාර නමැති පියකු හා ඔහුගේ දියණිය එස්.එම්. අහින්නියා නමැති දැරියක බව පොලිසිය කියයි.

මියගිය සුනිල් ශාන්ත නමැත්තාගේ බිරිය මීට මාස හතරකට පමණ පෙර විදේශගතව ඇති අතර ඔහුගේ අවුරුදු 11 හා 7 යන වයස්වල පිරිමි දරුවන් දෙදෙනකු හා මියගිය දියණිය ඔහු සමග ජීවත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.නිවසට යාබදව ඔහු එළවළුවගාවක් පවත්වාගෙන යන අතර එහි ඇති මිරිස් වගාව සතුන්ගෙන් බේරා ගැනීම සඳහා

අඩියක් පමණ උසට කම්බි ගසා එයට විදුලිය සම්බන්ධ කර තිබී ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.

ඔහු කෑම පිස දරුවන් දෙදෙනා පාසල් යවා කුඩා දැරියටද කෑම කවා පෙරේදා උදේ 10 ට පමණ මිරිස් වගාවට බෙහෙත් ඉසීමට ගොස් ඇති අතර නිවසේ සිටි දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි. ඔහු මිරිස් වගාව සඳහා කෘෂි රසායන ඉසීම කළ ද කම්බිවලට යොදා තිබූ විදුලි සැර ඉවත් කිරීමට අමතකව ගොස් ඇති අතර ඔහු වගා බිමේ සිටියදී තුන් හැවිරිදි දැරියද ප්ලාස්ටික් කෝප්පයක්ද රැගෙන වගා බිමට ගොස් ඇතැයි පොලිසිය කියයි. දෙදෙනාටම විදුලිසැර වැදී බිම වැටී සිටි අයුරු සුනිල් ශාන්ත නමැත්තාගේ සහෝදරයා දැක ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහුගේ බිරියගේ ඥාතියකු මිය යාම පිළිබඳව සහෝදරයා දැනුවත් කිරීමට ඔහුගේ සහෝදරයකු එළවළු වගාව වෙත පැමිණි අවස්ථාවේ වගා බිමේ කම්බි මත මෙම දියණිය හා පියා වැටී සිටිනු දැක ඒ බව ඔහු ඥාතීන්ට පවසා ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් එකතු වී මෙම දෙදෙනා ගම්පොල රෝහලට රැගෙන විත් ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත් නිලන්ත පිලපිටිය මහතා ඊයේ (30) පැවැත්වීය.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
 සුරංග රාජනායක