fertilizer-issue

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ “පොහොර තොග " ගොවි ජනතාවට සහන මිලට ලබා නොදී කර්මාන්තශාලාවලට වැඩිමිලට අලෙවිකර රුපියල් කෝටි ගණනින් රජයට පාඩු කළේ යැයි කියන සමාගම්‍ හතක බැංකු වාර්තා කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්ඩ්ස් මහතා 14 දා නියෝග කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය

අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .එක් පොහොර සමාගමක් රුපියල් කෝටි දහයක් පමණ වංචා කර රජයට පාඩු කර ඇති බවට කරුණු ඉදිරිපත් කළ අතර රුපියල් 1100 ක සහන මිලට ගොවීන්ට දීමට තිබූ පොහොර රුපියල් 3500ක මිලකට කර්මාන්ත ශාලාවලට අලෙවි කළ බවට තොරතුරු අනාවරණය වන බවටද කරුණු ඉදිරිපත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.ජාතික පොහොර ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කළ ජාතික වැඩපිළිවෙළක් යටතේ පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා සමාගම් දහ අටකට 2018 වසරේදී අවසර ලබාදී ඇත.

රුපියල් 2500 කට ආනයනය කරන පොහොර රුපියල් 1100 ක සහන මිලට ගොවි ජනතාවට ලබාදීමේ ගිවිසුම යටතේ පොහොර ගෙන්වා ඇති අතර සමාගම්වලට අහිමිවන රුපියල් 1400 ක මුදල රජයෙන් එම සමාගම්වලට ගෙවීමට කටයුතු සම්පාදනය කර ඇත .

මෙම වංචනික සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පොහොර ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව කළ විමර්ශනයක් අනුව ජාතික පෝර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වූ ආනයනික සමාගම් දහ අට අතරින් හතක් මෙම පාඩුව රජයට සිදු කර ඇති බවට කරුණු අනාවරණය වන හෙයින් එම සමාගම්වල බැංකු වාර්තා කැඳවීමට මෙසේ අවසර ලබා ගත්තේය.අදාළ කමිටුවේ විමර්ශනයට ලක්වී ඇත්තේ සමාගම් 18න් කුඩා පරිමාණයේ කර්මාන්තශාලා බවටත් මහා පරිමාණ කර්මාන්තශාලා ද මෙලෙස කටයුතු කර ඇද්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් පවත්වන බවටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
රෝෂන් තුෂාර