gas-blast-sri-lanka

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිසා ගෑස් ළිප් පිපිරීම් සිදු වී මේ මාසයට වසර දෙකක් ගත වී ඇතත් වින්දිතයන්ට තවමත් කිසිදු වන්දි මුදලක් ලබාදී නොමැති බව ගෑස් වින්දිතයන්ගේ සංගමය සඳහන් කරයි.



2021 වසරේ නොවැම්බර් මාසයේ සිට මාස කිහිපයක් තුළදී ගෑස් ළිප් ආශ්‍රිත පිපිරීම් 960කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා දේපළ හානි හා තුවාල වීමේ සිද්ධි 900ක් පමණ සිදුවී තිබෙන බවත් එම සංගමයේ මහලේකම් මිලින්ද ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

වින්දිතයන් සඳහා වන්දි ලබාදෙන බවට 2021 වසරේ පැවැති ආණ්ඩුව පොරොන්දු ලබාදුන්නද එය මෙතෙක් ඉටුකර නොමැති බවද, වෛද්‍යාධාර ලෙස යම් මුදල් ප්‍රමාණයක් සුළු පිරිසකට හිමිව තිබෙන බවද හෙතෙම පැවසීය.

මේ නිසා ගෑස් ළිප් ආශ්‍රිත පිපිරීම් නිසා වින්දිතයන් බවට පත් වූ ජනතාවට වන්දි ලබා දීමේ නිරේදේශ ලබාදෙන ලෙස ඉල්ලා ලබන සතිය ආරම්භයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද මිලින්ද ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.



ගෑස් ළිප් ආශ්‍රිත පිපිරීම් නිසා වින්දිතයන් බවට පත් වූ ජනතාවට සහන ලබා දීමේ නිර්දේශයක් ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය කාලයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙන බවද හෙතෙම පැවසීය.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිසා මෙම පිපිරීම් සිදුවි තිබෙන බවත්, මේ නිසා වින්දිතයන් බවට පත්වූ ජනතාවට වන්දි ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
 ඉන්දික හේවාවිතාරණ