gerom-arrest-court

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ඊයේ (12 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.



සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීට පෙර ගොනුකළ පෙත්සමක් ඊයේ (12 වැනිදා) යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේය.



මෙම පෙත්සම ඊයේ (12 වැනිදා) ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සඳහන් කළේ තම සේවාදායකයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවයි. ඒ අනුව මෙම කරුණට අදාළව පවතින පෙත්සම සංශෝධනය කිරීමට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කී ජනාධිපති නීතිඥවරයා ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කළේය.



ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ මාර්තු මස 14 වැනිදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කරන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. 

කේ.එස්. උදයකුමාර