gov-service-election-candidates

පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදුන් රජයේ සේවකයින් දෙදහස් අටසියයක් අතුරින් තමන් කලින් සේවය කරන ලද ස්ථානවලම යළි රාජකාරි කටයුතු කිරීම සඳහා අපෑල ඉදිරිපත් කර ඇත්තේ දෙසීයක් (200) පමණක් බව අනාවරණය වේ.



පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යෑම හේතුවෙන් මැතිවරණයට නාමයෝජනා භාරදුන් රජයේ සේවකයින් සියලු දෙනා ඔවුන් රාජකාරි කරන ලද ස්ථානවලින් පිටත පිහිටි රජයේ ආයතනවල සේවයේ යෙදවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය කාලයේදී කටයුතු කළේය.



එලෙස ස්ථාන මාරු කරන ලද රජයේ සේවකයින් තමන් කලින් සේවය කරනලද ස්ථානයේම යළි සේවයේ පිහිටුවීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කළේය.

මෙලෙස තමන් කලින් සේවය කරන ලද ස්ථානයේම යළි සේවය කිරීමට අවශ්‍ය නම් අදාළ රාජ්‍ය සේවකයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට හෝ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ඇපෑලක් ඉදිරිපත් කළ යුතු බවත් අදාළ ඇපෑල පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ ස්ථාන මාරුව සම්බන්ධව තීරණයක් ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය.

මේ අනුව නාමයෝජනා භාරදුන් සියලු රජයේ සේවකයින් ඔවුන් කලින් සිටි ස්ථානවලම යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකරන බවද ඔහු කීවේය.

අදාළ රජයේ සේවකයා විසින් ඇපෑල ඉදිරිපත් කර මාසයක කාලයක් තුළදී ඔහුට පිළිතුරක් ලබාදෙන බවත් මෙහිදී මෙම රාජ්‍ය සේවකයින් ඔවුන් කලින් සේවය කරන ලද ස්ථානයේ රාජකාරි ස්ථානයට යෙදවීමට පෙරදී ආයතන ප්‍රධානියා විසින් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.



රාජකාරි ස්ථානය තුළ දේශපාලන කටයුතු සිදු නොකරන බවටත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදු නොකරන බවටත් එම රජයේ සේවකයා විසින් ආයතන ප්‍රධානියාට දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් එම දිවුරුම් ප්‍රකාශය කඩ කරන රජයේ සේවකයින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සාලිය කුමාර ගුණසේකර