government-service-leaves

රාජ්‍ය සේවකයන්ගේ අනියම් හා විවේක නිවාඩු ප්‍රමාණය 45 සිට 25 දක්වා අඩු කිරීමට ඉදිරිපත් කර තිබෙන යෝජනාව කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කරයි.



නිවාඩු යනු රාජ්‍ය සේවකයන්ට හිමි වරප්‍රසාදයක් බවත්, කිසිදු සොයා බැලීමක් සිදුනොකර නිවාඩු අඩු කිරීමට යෝජනා කිරීම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, මෙම ක්‍රියාව සම්මත කර ගැනීමට කටයුතු කළ හොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බවත් එම මධ්‍යස්ථානයේ කමිටු සාමාජික ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.



ආයතන සංග්‍රහයට අනුව අනියම් නිවාඩු 21ක් හා විවේක නිවාඩු 24ක් පවතින බවත්, එම ප්‍රමාණය අනියම් නිවාඩු 10ක් දක්වාත් විවේක නිවාඩු 15 දක්වාත් අඩු කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විවෘත හා වගකිව යුතු රාජ්‍යයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබෙන බවත් හෙතෙම පැවසීය. මේ නිසා අදාළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙසට ආණ්ඩුවෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත්, ඉදිරියෙහිදී රාජ්‍ය සේවකයන්ගේ විරෝධතා සංදේශයක්ද භාර දීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

 ඉන්දික හේවාවිතාරණ