homagama-woman-death

ලිපි තුනක් ලියා තබා, මියගිය බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (01) අලුයම සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම, අතුරුගිරිය පාර පදිංචි නදිකා ගාසිනී බටවල නමැති (45) හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි.
මෙම කාන්තාව හෝමාගම අතුරුගිරිය පාරේ නිවෙසක හුදකලාව වාසය කර ඇති අතර නවසීලන්තයේ සහ ඩුබායි රටවල වාසය කරන ඇයගේ සහෝදරියන් සමග නිරන්තරයෙන් දුරකතන ඇමැතුම් ගෙන කතාබහ කරමින් ජීවත්ව ඇති බව පොලිසිය පවසයි.


ඒ අනුව එක් සහෝදරියක් මෙම කාන්තාවට පෙරේදා (30) දවස පුරා ඇමැතුම් ගෙන ඇතත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැකසිතී තවත් ඥාති සහෝදරියකට ඒ බව දන්වා ඇය නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ ගේට්ටුව වසා තිබීම නිසා
තාප්පයෙන් පැන සොයා බැලීමේදී නිවසේ සාලය මැද ඇය වැටී සිටිනු දැක ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිවස තුළට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ සාලය මැද පුටුවක් මත උඩුබැලි අතට වැටී අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තා මළ සිරුර සොයාගත් බව පැවසේ.
මීට අමතරව මියගිය කාන්තාවගේ සිරුර අසල බෙහෙත් පෙති තොගයක් තිබී හමු වී ඇති අතර අධික ලෙස වමනය බැහැර කර තිබූ බවත් පොලීසිය කියයි
ඥාති සහෝදරියන් දෙදෙනෙකුට පෞද්ගලික කාරණා සඳහන් කොට, ලියූ ලිපි දෙකක් සහ තවත් ලිපියක් නිවෙසේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.


ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා
පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
මෙම මරණය ඝාතනයක් ද නැතහොත් සිය දිවි හානිකර ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදේශගතව සිටින ඥාතීන් දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු කරගැනීමට හැකි වන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි
(මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)