hot-weather-world-2023

මේ වසරේ දී පෘථිවි උෂ්ණත්වය  ප්‍රස්ථාරවලින් බැහැර වී ඇති අතර, ඒ අනුව 2023 යනු නිල වශයෙන් වාර්තාගත උණුසුම්ම වසර වනු ඇති බවට විද්‍යාඥයන්  දැනටමත් තහවුරු කර ඇත.

යුරෝපීය සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාවේ විශ්ලේෂණයට අනුව මෙම වසරේ ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.4 ට වඩා වැඩි වනු ඇත. 

  පැරිස් දේශගුණික ගිවිසුම අංශක 1.5 සීමාවට ආසන්න වන අතර ඉන් ඔබ්බට උෂ්ණත්වය ඉහළ ගියහොත් මිනිසුන්ට පරිසර පද්ධති සදහා  අනුගත වීමට අරගල කිරීමට සිදු වනු ඇත් බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

මේ වසරේ ජුනි මාසයේ සිට සෑම මාසයකම උණුසුම්ම මාසය වාර්තා වී ඇති අතර , එම තත්වය නොවැම්බර් වන විට ඉහළ ගොස් ඇත. නොවැම්බර් මාසය පූර්ව කාර්මික මට්ටමට වඩා අංශක 1.75ක් පමණ උණුසුම් වූ අතර , දින දෙකක් අංශක 2 සීමාවද ඉක්මවා ගියේය. මේ තත්වය හේතුවෙන් ඉදිරි වසර වලදී  ග්‍රහලෝකයට  කුමක් සිදුවේද යන්න පිළිබඳව විද්‍යාඥයන් කනස්සල්ලට පත්ව සිටියි.

එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණ සමුළුව වන COP28 සඳහා,  රටවල් 150 කට වැඩි ගණනක නියෝජිතයින් ඩුබායි වෙත පැමිණ සිටින අතර, එහි දී ග්‍රහලෝක උණුසුම් කරන පොසිල ඉන්ධන ක්‍රමානුකූලව ඉවත් කළ යුතුද යන්න පිළිබඳ උණුසුම් සාකච්ඡා ඇති වී තිබේ.  

"මෙම වාර්තාගත වසර සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇති ධනවත් සහ ඉහළ විමෝචනයක් කරන රටවලට, ව

ැඩිවන ආන්තික කාලගුණය සහ  දේශගුණික විපර්යාසයන් සීමා කිරීමට උපකාර කිරීම සඳහා ෆොසිල ඉන්ධන පිළිබද සාධාරණ තීරණයක් ගැනීම සම්බන්ධව  වැඩි වගකීමක් ඇති බව " Concerned Scientists සංගමයේ දේශගුණ විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ Brenda Ekwurzel පැවසීය.

විද්‍යාඥයන් පවසා ඇත්තේ ,  එල් නිනෝ සහ මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මෙම සුවිශේෂී උණුසුම ඇති වී  ඇති බවයි. මාරාන්තික තාප තරංග මාලාවක්  සහ කැපී පෙනෙන  වාර්තාගත උෂ්ණත්වයක්,  මේ වසරේ මහාද්වීප කිහිපයකටම බලපෑම් එල්ල කර ඇති අතර,  පෙර නොවූ විරූ සාගර තාපය  ලොව පුරා බොහෝ ප්‍රදේශ ආවරණය කළේය.

කොපර්නිකස් පවසන පරිදි , නොවැම්බර් මාසය යුරෝපයේ බොහෝ ප්‍රදේශවල පවතින සාමාන්‍යයට වඩා තෙත් ස්වභාවයකින් යුක්ත වූ අතර, සියරාන් කුණාටුව හේතුවෙන් ඉතාලිය ඇතුළු බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාව සහ ගංවතුර තත්ව හටගෙන ඇත.

 ඊළඟ වසර තුළ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ  ලෝකය,   අංශක 1.5 ක උනුසුම පසු කරගෙන යන මාර්ගයක සිටින බව පෙනේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගැටළුකාරී කරුණක් වන අතර,

එම උෂ්ණත්වය මාස ගණනක් එක දිගට පැවතීමකත් සමග,   පෘථිවිය දිගු කාලීනව අංශක 1.5 ට වඩා ඉහළ උෂ්ණත්වයක පවතිනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අගවයි.

2022 වසර වන විට පෘථිවිය  අංශක 1.2 ක් පමණ උණුසුම් වී ඇති අතර, බොහෝ දෙනා සූදානම් නැති දේශගුණික අර්බුදයේ භයානක බලපෑම් දැනටමත් ලෝකයට දැනෙමින් පවතින බව පසුගිය වසර කිහිපය තුළ මනාව පැහැදිලි වී ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් අඟහරුවාදා නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2011 සහ 2020 අතර දශකය ග්‍රහලෝකයේ ගොඩබිම සහ සාගර සඳහා වාර්තාගත උණුසුම්ම දශකය බව සොයාගෙන ඇත.  දේශගුණික විපර්යාසවල වේගය “බියජනක ලෙස ඉහළ ගොස්” ඇති අතර,  මෙම කාල පරිච්ඡේදය තුළ ග්ලැසියර හානිය සහ මුහුදු මට්ටම්හී ඉහළ යාමද වාර්ථාගත වැඩි අගයක පවතී.

“හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යන තාක් කල්, මේ වසරේ දක්නට ලැබෙන ප්‍රතිඵලයට වඩා යහපත් ප්‍රතිඵල අපට බලාපොරොත්තු විය නොහැක. ඉදිරියේ දී උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යනු ඇති අතර තාප තරංග සහ නියඟවල බලපෑම් ද එසේම වනු ඇත." යැයි කොපර්නිකස් අධ්‍යක්ෂ Carlo Buontempo පැවසීය.