ja-ela-incident

ජා ඇල පොලිස් වසමේ දඩුගම උදම්විට ප්‍රදේශයේ සුපිරි හෝටලයක මත්පැන් පානය කරමින් සතුටු වූ මිතුරන් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පෙරේදා (04දා) සවස ඇති වූ ගැටුමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු හෝටලයේ පිහිණුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි  ජා-ඇල පොලීසිය පවසයි. ජා-ඇල, තුන්පෑලිය කුරුසවල පාරේ පදිංචි ධනුක සම්පත් සිල්වා (34) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.හෙතෙම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත් කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.



සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ජා-ඇල සහ පමුණුගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර මියගොස් ඇති අයගේ ඥාතීන්ද සිටින බව පොලීසිය පවසයි.ගැටුමට මුල් වු පිරිස එකට එක්ව එම හෝටලයේදී මත්පැන් පානය කරමින් විනෝදව සිට ඇති අතර තුර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම අවස්ථාවේ තදින් මත්ව සිටි පිරිසේ කිහිපදෙනෙකු පහර කෑමට ලක්ව සිටි මරණකරු අල්ලා හෝටලයේ පිහිණුම් තාටකයට විසි කොට ඇති බවත් පොලිස් විමර්ශන කටයුතුවලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කරයි. පසුව හෝටල් සේවකයන් විසින් නාන තටාකයේ ගිලී සිටි පුද්ගලයා ගොඩට ගෙන, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කතාකොට මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.ජා-ඇල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 ජාඇල - තිස්ස කොටින්කඩුව/ ප්‍රසංග පෙරේරා