jaffna-incident

යාපනය, තෙලිප්පලේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ගමන්ගත් යතුරුපැදියක් හප්පා ඔවුන් ඝාතනය කිරීමට උත්සාහ කර පලායමින් සිටි බව කියන, යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියක් ගමන් ගත් වෑන් රථයකට පෙරේදා (4) සවස වෙඩි තබා, එක් අයකු කඩු දෙකක් සමග අත්අඩංගුවට ගත් බව තෙලිප්පලේ පොලිසිය පවසයි. කඩු කල්ලියට සම්බන්ධ බව කියන තවත් හයදෙනකු පලා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට තෙලිප්පලේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ආරම්භ කර ඇත. වෑන් රථයකින් පැමිණි මෙම කඩු කල්ලිය තෙලිප්පලෙයි රෝහල අසල රැඳී සිටි අයකුටමුලින්ම පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු දිව ගොස් ජීවිතය බේරාගන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



ඉන්පසු එම කල්ලිය වෑන් රථයකින් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලට පැමිණ, ඒ අසල රැඳී සිටි පුද්ගලයකු කඩුවලින් කපා කොටා තුවාල සිදු කර ඇතැයි පොලිසිය පවසයි. කඩු කල්ලියේ මෙම මැර ක්‍රියා ඒ අවට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල දක්නට ඇතැයි පොලිසිය කියයි. ඒ අවස්ථාවේ තෙලිප්පලේ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු පැමිණ වෑන් රථයට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවන ආකාරයට, පොලිස් යතුරුපැදිය හරස් කර ඇති අතර, එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා වෑන් රථයෙන් හප්පා මරා දැමීමට උත්සාහ කර ඇතැයි ද එම නිලධාරියා කීවේය.

පොලිස් නිලධාරීන් දෙදෙනා එම උත්සාහය ව්‍යර්ථ කර ජීවිත බේරා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඉන්පසු එම කල්ලිය මල්ලාකම් හන්දියට පැමිණ කඩු ද රැගෙන වෑන් රථයෙන් බිමට බැසීමට සූදානම් වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු අතරින් එක් නිලධාරියකු වෑන් රථයේ රෝදයකට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේ කඩු කල්ලියේ හයදෙනකු පලාගොස් ඇතැයි පොලිසිය කියයි. බිමට බැස සිටි එම කල්ලියේ අයකු කඩු දෙකක් ද සමග එහිදී අත්අඩංගුවට ගෙන ඇත.



අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවන් අතරින් කිහිප දෙනකු දැනටමත් හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි. මෙම කල්ලිය පෙරේදා සවස පැමිණ කඩුවලින් කපා කොටා මුලින්ම ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ මෙම කඩු කල්ලියට ප්‍රතිවිරුද්ධ කල්ලියකට සම්බන්ධ අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. තෙලිප්පලේ පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය