janaka-ranawaka-threat

කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වන ජනක රණවක මහතාට මරණීය තර්ජන කරමින් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පදිංචි අංගොඩ, කුඩා බුත්ගමුව නිවසේදීය.

ජනක රණවක මහතාගේ ජංගම දුරකතනයට ඉකුත් නොවැම්බර් 24 වැනිදා වට්ස්ඇප් ඇමතුමක් ගෙන ඇති නාඳුනන පුද්ගලයකු හිටපු නගරාධිපතිවරයාගේ දරුවන් මරා දමන බව පවසමින් දින තුනක් තුළ මුදල් ලෑස්ති කර තබන ලෙස තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.



" බුලට් තුන හතරක් බස්ස ගන්න කලින් සල්ලි ලෑස්ති කරගන්න ඔයා ළඟ ඇතිනේ කළු සල්ලි, ඒකෙන් කෝටි පහක් ලෑස්ති කරගන්න" ආදී වශයෙන් ඔහුට තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

‘මුලින් කෝටියක් ඕනේ පස්සේ ඉතුරු ටික ඕන යයිද එම පුද්ගලයා විවිධ අයුරින් තර්ජනය කරමින් පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

හිටපු නගරාධිපතිවරයා සහ පවුලේ උදවිය සහිත සමූහ ඡායාරූපයක් සහ පිස්තෝලයක්ද ජංගම දුරකතනය වෙත එවා තිබූ බව ජනක රණවක මහතා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

හිටපු නගරාධිපතිවරයාගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමත් සමගම එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාටද පරීක්ෂණ කටයුතු වලින් ඉවත් වන ලෙස තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩුබායිහි සිටින පුද්ගලයකු මෙම කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ මෙරට සිටින පුද්ගලයකුගේ උපදෙස් මත බවට අනාවරණය වීමෙන් අනතුරුව කප්පම් ඉල්ලීමේ සිද්ධියට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකාර දිස්ත්‍රික් සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු නගරාධිපතිවරයා සමග ඇති ඉඩම් ප්‍රශ්නයක් මුල් කරගෙන ඒ සම්බන්ධයෙන් ඩුබාහි පදිංචි ඔහුගේ ඥාතියකුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු වට්ස්ඇප් මාර්ගයෙන් මෙම කප්පම් මුදල ඉල්ලා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක පුද්ගලයෙකි.



සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
  බණ්ඩාරගම බිමල් ශශ්‍යාමන් ජයසිංහ