jerome-fernando-1226-crore

බුද්ධාගමට හා අන්‍ය ආගම්වලට අපහාස කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සහ ඔහුගේ බිරිඳ සන්තකයේ ඇති රුපියල් කෝටි 1226 ක මුදල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ පැවැත්වීම රහස් පොලිසිය නවතා ඇති බවට දැනගන්ට ලැබීම විමතියට කරුණක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (18) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා මෙම දැනුම් දීම කළේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා හමුවේ සලකා බැලිණි.මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවයි.



අභියාචනාධිකරණයේ පටිපාටිය අනුව විනිසුරුවරුන් දෙදෙනකු නම්කර ඇති අවස්ථාවක දී එක් විනිසුරුවරයකු පමණක් පෙත්සම සලකා බැලීම නීතියට පටහැනි බවත් වගඋත්තරකරුවන්ට නොතිසි නොලැබී ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය. ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරය  මෙවැනිම පෙත්සමක් මහාධිකරණයේ ගොනුකර ඇති බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් තවත් පෙත්සම් ගොනු කර ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කීවේය.

ඒ අනුව ඔහු නීතිය අවභාවිත කරන බවත් ඉන්දියානු ග්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් අනුව එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළ යුතු බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේය.ඊට අමතරව පෙත්සම්කරු අධිකරණයට පැමිණ ඇත්තේ කරුණු යටපත් කරමින් බවත්, අධිකරණය අවභාවිත කිරීම යන කරුණ පමණක් සලකා වුවද පෙත්සම නිෂ්ප්‍රභ කළ යුතු බවත් හෙතෙම පැවැසීය. ඊට අමතරව පෙත්සම්කරු අධිකරණයට පැමිණ ඇත්තේ සද්භාවය නොමැතිව බවද රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා කියා සිටියේය.

එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වර්ෂ විතාන මහත්මිය කියා සිටියේ,

තමන් සම්බන්ධයෙන් මෙවැනිම පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති බවත් තමන් මුල්ම පෙත්සමේ වගඋත්තරකරුවන් බවත්ය. මේ පෙත්සම තමන් මගහැර තිබීම වීමතියට කරුණක් බවකී නීතිඥ වර්ෂවිතාන මහත්මිය ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ කරුණු දැක්වීමට තමන් එකග වන බව කරුණු දක්වමින් කියා සිටියාය.

පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා දේවගැතිවරයා කියා සිටියේ තමන් කිසි විටෙක අධිකරණය අවභාවිත නොකර ඇති බවත් අධිකරණය විසින්ම රජයේ නීතිඥවරයාගේ අනුදැනුම මතම මෙම නඩුව අද දිනට කල් තැබූ බවත්ය. ඒ අනුව එය පිළිගත නොහැකි බවත් ඊට අමතරව කිසි විටෙකත් තම සේවාදායකයා අධිකරණය මගහැර පැනයාමක් කර නොමැති බවත් ඔහු කීවේය. ඔහුට එරෙහිව කිසිදු වරෙන්තුවක් හෝ වෙනත් නියෝගයක් නොතිබුණු බවත් ඒ අනුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති නීතිඥවරයා පැවැසීය.



මෙම පෙත්සම ඇප ඉල්ලීමක් නොවන බවත් මෙම පෙත්සම මහාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සමග කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති බවත් කී හෙතෙම අදාළ සහනය ප්‍රදානය කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මූලික විරෝධතා සම්බන්ධ නියෝගය හෙට (20) ප්‍රකාශයට පත් කිරීමට කල් තැබිණි.
රන්ජන් කටුගම්පොළ