ඉන්දියාව, සිංගප්පූරුව සහ ඇමෙරිකාව ඇතුළුව රටවල් රැසකින් හඳුනාගෙන ඇති JN.1 නම් COVID-19 උපප්‍රභේදය පිළිබද ඉහළ අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (19දා) දිනයේදී දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව, පෙර අවස්ථාවේදී මෙන් COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු

පවත්වාගෙන යාම සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර සිටියි. මෙම JN.1 නම් උපප්‍රභේදය COVID-19 වෛරසයේ Omicron වෛරස ප්‍රභේදයට අයත් Pirola නමින් හැඳින්වෙන BA2.86 නම් උපප්‍රභේදය විකෘතිවීමකින් නිර්මාණය වූවක් බව පැවසෙයි. මෙහිදී එම JN.1 උපප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් ලෙස හදුනාගෙන තිබීම ගැටලුව වී තිබේ.


"මෙම JN.1 උපප්‍රභේදය ගැන බියවෙන්න හේතුවක් නැහැ. කලබලවීමක් අවශ්‍ය නැහැ. මේ JN.1 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. එය අද මහජන  සෞඛ්‍යයට තර්ජනයක් වෙලා.

ඒ ගැන අවධානයෙන් පසුවීමයි වැදගත් වෙන්නේ, එතැනදී පෙර පරිදිම මුඛ ආවරණ පැලඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යෑම මගින් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකියි.” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ. ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පෙරේදා දිනයේදී හඳුනාගත් නව COVID-19 ආසාදිතයන් 260දෙනාද සමග එරට තුළ වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,828කි. මෙහිදී කේරළ ප්‍රාන්තය තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව හදුනාගෙන ඇති අතර, මේ හේතුවෙන් එම ප්‍රාන්තය තුළ වයස අවුරුදු 60ට වැඩි පිරිස් මුඛ ආවරණ පැලඳීමත් අනිවාර්යය කෙරී තිබේ. මේ අතර, අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයේදීද මෙම වෛරසයට අදාළ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ වාර්තාවීම් ඉහළ යාමක් දැකගත හැකිව තිබේ.

කෙසේ වෙතත්, තවමත් මෙම වෛරස පවතින බවත්, ඒ හේතුවෙන් සංචරණ  සීමා පැනවීමක් මෙතෙක් අවශ්‍ය නොවන බවත් ප්‍රාන්ත දෙකෙහිම බලධාරීන් මෙහිදී සදහන් කර තිබේ.මේ අතර, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයේ ඇස්තමේන්තුවට අනුව එරටින් වාර්තා වන නව COVID-19 ආසාදනයවීම් අතරින් 20%ක්ම සදහා හේතු වන්නේ මෙම නව JN.1 උපප්‍රභේදය බව හදුනාගෙන තිබේ. ඒ අනුව,

2021 වස‌‍ෙර්දී Omicron ප්‍රභේදය හේතුවෙන් ඇති වූ වසංගත ව්‍යාප්තිය මෙන් අවස්ථාවක් මෙම JN.I හේතුවෙන්ද ඇතිවනු ඇතැයි අදහස වී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට
මේ වනවිට යුරෝපයේ පිහිටි ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ප්‍රංශය සහ නෙදර්ලන්තය තුළත් මෙම JN.1 වෛරස ව්‍යාප්ත වන බව හඳුනාගෙන තිබේ.එසේම ඔස්ට්‍රේලියාව සහ කැනඩාව තුළත් මෙම වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවත් වාර්තා පවසයි. මෙහිදී, ලොව පුරා සිදුවන සංචරණයන්  සහ අඩු ප්‍රතිශක්තිකරණය සහිත පුද්ගලයන් ඉහළ අවදානමකට ලක්ව සිටින පුද්ගලයන් ලෙස හදුනාගෙන තිබේ. ඒ අනුව, මෙම වෛරස ව්‍යාප්තිය වසංගතයක් බවට පත්වීම වැළැක්වීම සඳහා වන එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.  ලෝක සෞඛ්‍ය සංවිධානයද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් XBB.1.5 වෛරසයට එරෙහි යාවත්කාලීන කෙරුණු COVID-19 එන්නතක් සඳහා වන සහයෝගය ලබාදීමක්ද සිදුකර තිබේ. මෙම එන්නත මගින් COVID-19 ප්‍රභේද රැසකට එරෙහිව ආරක්ෂාවක් හිමිවීම ඊට හේතුවයි. "COVID-19 වෛරසය නිසා රෝහල්ගතවී හෝ මරණයට පත්වීම්වලින් ආරක්ෂා කෙරෙන බූස්ටර් එන්නත් මාත්‍රාව හෝ Paxlovid එන්නත් ලබාගන්නේ සහ ඊට හැකියාව ඇත්තේ කිහිප දෙනෙකුට පමණයි. ඒ නිසා මේ එන්නත් සහ ඖෂධ හැම දෙනාටම ලබාගත හැකි ආකාරයට පවත්වාගෙන යන්න තවත් වැඩ බොහෝමයක් කළ යුතුව තිබෙනවා.” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වන විශේෂඥයන් සඳහන් කරයි.