jordan-sri-lankan

ශ්‍රි ලංකාවේ විවිධ පළාත්වල සිට ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ අසීල් නම් ඇඟලුම් කම්හලක රැකියාවලට ගොස් වසර කිහිපයක සිට වැටුප් නොගෙවීම නිසා තුන්සිය පනහකට ආසන්න පිරිසක් අසරණ වී සිටින බව එහි සිටින තරුණ තරුණියෝ සඳහන් කරති.තමන් වසර හයක් තිස්සේ එම ආයතනයේ වැඩ කරන බවත්, මේ වනවිට එය සම්පූර්ණයෙන් වසා දැමීම නිසා එහි කළමනාකාරිත්වය තමන්ට වැටුප් නොගෙවන බවත්, මේ වන විට ශ්‍රී ලාංකිකයන් 350කට වැඩි පිරිසක් තැන් තැන්වල ආහාර නොලැබ අසරණව හා රෝගාතුරව සිටින බවත් එහි සිටින ටී, එම්. හෂිනි කෞශල්‍යා තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.



තවත් පිරිසක් ආහාර හා ජලය නොමැතිව නේවාසිකාගාරවල සිරවී සිටින බවත්, එම ප්‍රදේශයට මේ වනවිට ශීත කාලය පැමිණ ඇති හෙයින් විශාල පිරිසක් ලෙඩරෝගවලට ලක්ව සිටින බවත් ඔවුහු සඳහන් කරති.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තමන් ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් වෙන ලෙසද ජෝදානයේ සිරවී සිටින තරුණ  තරුණියෝ ඉල්ලා සිටිති.තමන්ට එළියට යෑම සදහා වීසා නොමැති බවත්, තම සේවා කාලය වසර තුන අවසන් වුවද සේවක අර්ථ සාධක අරමුදල් යනාදිය නොගෙවූ බවත්, එම ආයතනයේ නේවාසිකාගාරවල විදුලිය පවා විසන්ධිකර තමන්ට කිසිදු සහනයක් නොමැතිව සිටින බවත් ඔවුහු කියති.

තානාපති කාර්යාලයෙන් මේ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොකරන නිසා තම ජීවිතවලට යම් කිසි හානියක් සිදුවීමට පෙර ශ්‍රි ලංකාවට ගෙන්වා ගන්නා ලෙසත් එම තරුණ තරුණියෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.
මනම්පිටිය -නිමල් ජයරත්න