kalutara-prison-incident

පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මියගිය කළුතර බන්ධනාගාර රැදවියාගේ මරණය සම්බන්ධයෙන් 27දා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙතින් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ. කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටියදී මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි සිටි පී.පී. සුනිල් නමැත්තා පහරදීමක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී 26දා අලුයම මරණයට පත්ව තිබේ.



සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරය වෙතින් දැනුවත් කිරීමෙන් පසු කළුතර උතුර පොලීසියද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, කළුතර උතුර අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුතර බන්ධනාගාරය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද බන්ධනාගාරය වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර, මහේස්ත්‍රාත්  පරීක්ෂණයක්ද සිදුකර ඇති බව පොලීසිය කීය.මියගොස් ඇති තැනැත්තා යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයේ රදවා සිටි වාට්ටුවේදී පසුගිය 24වැනිදා පස්වරුවේ අනතුරට ලක්ව තිබේ.

මියගොස් ඇති තැනැත්තා බන්ධනාගාරයට ඇතුළත් කළ දිනයේ සිට නොසන්සුන්කාරී අන්දමින් හැසිරි ඇති බව බන්ධනාගාර නිලධාරීහු සඳහන් කරති.

මියගොස් ඇති තැනැත්තා රදවා සිටී සී වාට්ටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ ගත් අවස්ථාවේ වාට්ටුව ඉදිරිපිට ඔහු සහ තවත් රැදවියන් කිහිප දෙනෙකු අතර පොරබැදීමක් සිදුව ඇති බවත්, ඔහු ඇදවැටී ඇති බවත් සදහන් වේ. එහි ආරක්ෂක කැමරා සවිකර ඇතත් එය මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු බන්ධනාගාර නිලධාරින්ගෙන්, සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රැඳවියන්ගෙන්ද පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක  මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එච්.ඩී. වික්‍රමාරච්චි මහතා ඇතුළු නිලධාහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

පානදුර - සුමිත්  පොතුපිටිය