kataragama-gold-theft

 රුහුණු කතරගම මහා දේවාලය ඇතුළු රට පුරා දේවාලවලට ලැබෙන මුදල්, රත්තරන් පොදු මුදල් ගසා කෑම වැළැක්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් හා නීතිපතිවරයා සමග එක්ව යම් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මේ වන විට අවධානය යොමු වී ඇත.



යෝජනාව කතරගමින් දේවාලවලට ලැබෙන මහජන මුදල් අයථා ආකාරයට තනි තනි පුද්ගලයන්ට භාවිතයට ගත නොහැකි බවත්, එදා රජ සමයේ පටන් දේවාලවලට පූජා කළ රත්තරන්, මුදල් ඇතුළු දෑ රජුන්ට අයිති වූවා සේ, මේ වන විට මේවා පොදු මුදල් සේ රජයට අයිති බවත් දේවාලයේ පරිපාලකයා සේ රජයෙන් බස්නායක නිලමේ කෙනකු වසර පහකට පත් කරනු ලබන්නේ එම පරිපාලන කටයුතු සඳහා බවත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කළ විමසුමකදී පැවසීය.



සම්ප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍රවලට මුවා වී දේවාලයට ලැබෙන මුදල් හා රත්රන් රැගෙන යෑමට නොහැකි අයුරින් රටේ නීතියට යටත් ක්‍රමවේදයක් සකස් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් හා නීතිපතිගේ සහාය ගන්නා බවද හෙතෙම පැවසීය.

බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ බලතල අනුව දේවාලයේ පරිපාලකයා ලෙස තමා පත් කළද, කපුමහතුන් භාරයේ ඇති දේවාලේ යතුර ඉල්ලා නීතියේ පිළිසරණ පතා අධිකරණය හමුවට ගිය බවත් හෙතෙම පැවසීය.

කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපලයක් වෙනුවෙන් පූජා කළ පවුම් තිස්අටක් බරැති රන් තැටියට වූ දේ තවමත් කොළඹ අපරාධ කොට්ඨාසයට සොයා ගැනීමට නොහැකි වී ඇත.

එම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලෙන් පසුව පවුම් තිස්අටක් බර රන් තැටියක් සකස් කර දී තිබේ. මෙම මුල් රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධව පැමිණිලි කර වසරකුත් මාස දෙකකුත් ගත වී ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබුණේ ඒ අනුව බවත් බස්නායක නිලමේවරයා පෙන්වා දුන්නේය.

පූජා වට්ටි සඳහා ලබාදෙන පඬුරු කපු මහත්වරුන් රැගෙන යන බවත්, මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 30 දා තෙක් දේවාලයේ පඬුරු පෙට්ටියට වැටෙන කාසි හා කාර්යාලයට ලැබෙන ආදායම ලෙස රුපියල් ලක්ෂ 3500 ක් ලැබුණු බවත්, පූජා වට්ටි සඳහා ලැබෙන විගණනයට ලක් නොවන මුදල අතිමහත් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අන්දමින් රටපුරා විවිධ දේවාලවලට ලැබෙන කෝටි ගණන් මුදල් අයථා පරිහරණය වන බව බැතිමත්හු පෙන්වා දෙති.

මෙවන් චෝදනාවක් නිසා පසුගිය දිනවලදී නවගමුව පත්තිනි දේවාලයේ පිංකැටවලටද මුද්‍රා තැබිණි.

මේ අතර රන් තැටිය අතුරුදන් සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇතත් ඊයේ (12 වැනිදා) වනතුරු ඔහු අත්අඩංගුවට ගෙන නොතිබිණ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා