kataragama-theft

 සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම බුදුවන බව සුජාතා සිටු දියණිය දැනගත්තේ ඕ තොමෝ කිරිපිඩු පූජා කළ රන් තැටිය නේරංජනා නදියේ උඩුගම්බලා ගිය නිසාය. මෙතෙක් කලකට රන් තැටියක් නිසා අනාවැකියක් කියැවුණ තැනක් ගැන අප අසා තිබුණේ ඒ කතාව පමණි. ඒත් රන් තැටියක් නිසා කිහිපදෙනකුටම ඒකාන්තයෙන් හිරේ විලංගුවේ වැටෙන්නට සිද්ධ වෙන බවට අනාවැකිය කීමට අපට දැන් පුළුවන්කමක් ඇත්තේය. මේ කියන රන් තැටිය මහා බලගතු තැනක් බව කියන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබූ රන් තැටියකි.

එය එසේ මෙසේ රන් තැටියක් නොවේ. රන් තැටිය නිසා හිරේ විලංගුවේ වැටෙන කතාව අහන්නට කලින් ඒ රන්තැටියේ උපත දැනගැනීම වටී. එය මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට අයත් රන් තැටියකි. අංගොඩ ලොක්කා යනු කලක් මෙරට පාතාලයේ රජ කළ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකි. අංගොඩ ලොක්කාගේ පස් හැවිරිදි පුතුගේ අපල දුරුවෙන්නැයි කියා ඔහුගේ මුදලින් රන් තැටියක් සාදවා ඇත්තේය. කතරගම හෝටලයක අරක්කැමියකු වූ සුජිත් නමැත්තකුට අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට ඉමෝ තාක්ෂණය ඔස්සේ දුරකතනයෙන් කතා කර කියා තිබුණේ රන් තැටිය සෑදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්නැයි කියාය.

ඒ වෙනුවෙන් අතේ වියදමට ඔහුට රුපියල් ලක්ෂ දෙකක්ද අංගොඩ ලොක්කාගෙන් ලැබිණි. රන් තැටිය සෑදීමට අවශ්‍ය කළමනා ගෙනඒමට කතරගම සිට කඩුවෙලට යන්නට සුජිත්ට වුණේය. අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු අත එවූ රත්‍රන් බිස්කට් ලබාගත්තේය. සුජිත් තම ජංගම දුරකතනයෙන් ඒවායේ ඡායාරූප ගත්තේය. ඒවා ගෙනැවිත් කතරගම රත්‍රං බඩු සාදන අයකුට දී තැටිය සාදා ගත්තේය. ඒ වෙනුවෙන් සැදුම් කුලිය ලෙස රුපියල් හතළිස්දහසක් වැය වී තිබුණේය. තැටිය සෑදූ පසුවද සුජිත් එහි ඡායාරූප කිහිපයක් ගත්තේය. එය සාදවා තිබුණේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කිරීමටය. එය රත්‍රන් පවුම් තිස් අටක් බරැතිය.

පස් වියැති දරුවාගේ වයසට සරිලන ආකාරයට පවුම් පහක් දේවාලයට පූජා කිරීමට සූදානම් වුණද අංගොඩ ලොක්කාගේ බිරියට නියම කර තිබුණේ අංගොඩ ලොක්කාගේ වයසට සරිලන්නට පවුම් තිස්අටක් බරැති රත්‍රන් යොදා තැටිය සාදන ලෙසය. ඒ දේවාලයේ කපුවන්ගේ උපදෙස් අනුවය.

අංගොඩ ලොක්කාගේ බිරිය සිය කුඩා දරුවා සහ තවත් මිතුරියන් කිහිප දෙනකු සමග කතරගම දේවාලයට ගොස් රන්තැටියේ ආනුභාවයෙන් පුතුගේ අපල දුරුවෙන්නැයි සිතා එය පූජා කළේ දෙදහස් දහනවයේ ජූලි තුන්වැනිදාය. එහෙත් එදා දෙවියන් වෙනුවෙන් පූජා කළ රන්තැටිය හිටිහැටියේ දේවාලයෙන් අතුරුදන් වී තිබුණේය. ඒ, කතරගම දේවාලයේ වැඩ සිටින දෙවියන්ගේ බලයෙන් නොව, දේවාලයේ කපුවන්ගේ බලයෙනි. එසේම රන් තැටිය අතුරුදන්වූ දිනයක් ගැන නම් කතරගම දෙවියන්වත් දන්නේ නැත. ඒ කියන්නේ අංගොඩ ලොක්කාගේ පුතුගේ අපල වැදී තිබුණේ බිරිය පූජා කළ රන් තැටියටය. දේවාලයට පූජා කළ රන් තැටිය අතුරුදන් කර තිබුණේ කතරගම දෙවියන්ගේ ඇස් දොළහටත් වැලි ගසමිනි.

දේවාලයේ සිටි කිහිපදෙනෙක් හැරෙන්නට මේ තැටිය අතුරුදන්වීම ගැන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකරවත් දැන සිටියේ නැත. රන්තැටියේ මතකය දේවාලයේ කපුවන්ගෙන් ද ගිලිහී යද්දි දිනක් බස්නායක නිලමේවරයාට නාඳුනන අංකයකින් දුරකතන ඇමතුමක් ලැබුණේය.

දිනය දෙදහස් විසි එකේ ඔක්තෝබර් දාහත්වැනිදාය. ඇමතුම ලැබෙන විට බස්නායක නිලමේ සිටියේ කතරගම දේවාලයේ සිට කොළඹට එනගමන්ය. ඇමතුමෙන් කියැවුණේ කතරගම දේවාලයේ වූ මහා පරිමාණ රන් භාණ්ඩ සොරකමක් ගැනය. ඉමෝ තාක්ෂණය ඔස්සේ ඡායාරූප කිහිපයක්ද ඔහුට ලැබුණේය. ඒවායේ තිබුණේ රන්තැටියක් හා පියනක්, රන් බිස්කට් කිහිපයක් සහ රන්තැටිය අතැතිව සිටින පුද්ගලයෙකි. ඒ සමගම පණිවුඩයක්ද ඔහුට ලැබුණේය. ඉන් කියැවුණේ දේවාලයෙන් සොරකම් කරන ලද මේ රන් තැටිය මකවා අලෙවි කර ඒ වෙනුවට වෙනත් තැටියක් සාදවා දේවාලයට රැගෙන ඒමේ සැලසුමක් ගැනය.



එහෙත් එවැනි රන් තැටියක් ගැන බස්නායක නිලමේ දැනගත්තේ මේ පණිවුඩය ලැබුණු පසුය. ඔහු සිතුවේ ඒ ගැන පොලිසියේ පැමිණිලි කරන්නටය. ඔහු පළමුව පැමිණිලි කළේ එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්නටය. පොලිස්පතිවරයා ඒ පැමිණිල්ල ගැන සොයා බැලීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පැවරුවේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ ඒකක අංක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජේ. නිශාන්ත යටතේ විමර්ශන ආරම්භ කෙරිණි.

රන්තැටිය හිටිහැටියේ අතුරුදන්වීමේ සුලමුල දිගහැරෙන්නට ගත්තේ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මේ ගැන විමර්ශන ආරම්භ කළ පසුවය. කතරගම දේවාලයේ තනතුරු දැරූ සියල්ලන්ගෙන්ම මෙන්ම රන්තැටිය පූජා කළ අංගොඩ ලොක්කාගේ බිරියගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

අංගොඩ ලොක්කාගේ බිරිය රන්තැටිය දේවාලයට පූජා කරන විට කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වූයේ සොමිපාල රත්නායක නමැත්තාය. රන්තැටිය සෑදීමට සහය වූ සුජිත්, කතරගම දේවාලයේ පත්තිනි දේවාලයේ කපු ධුරන්දර අමිල නුවන් මුණසිංහ නමැත්තාගේත් මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා පොලිසියට ලබා දුන් ප්‍රකාශයන් අනුවද ඒ බව තහවුරු විය. කතරගම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර තනතුර දරන්නේ මේ කියන චූටි කපුවාය.

කතරගම දේවාලයේ කපු මහතෙකුට දේවාලයේ තේවාව වෙනුවෙන් එක් මාසයක් බැගින් වෙන් කර දීම සිරිතක්ය. දේවාලයේ නීතියේ හැටියට දේවාල මාලිගාවට ඇතුළු විය හැක්කේ කපු ධුරන්දර තනතුර දරන පහළොස් දෙනාට සහ බස්නායක නිලමේට පමණි.

රන්තැටිය දේවාලයට පූජා කළ මාසය වන 2021 ජූලි මාසයේ දේවාලයේ තේවාව භාර වී සිටියේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායකය. එදින පූජා කළ රන්තැටිය දියකපන කපුවා වන කෝනාර මුදියන්සේලාගේ උපුල් නිලන්ත සමරකෝන් විසින් මාලිගාවේ තැබූ බව චූටි කපුවා හා පත්තිනි දේවාලයේ කපු ධුරන්දර අමිල නුවන් මුණසිංහ නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේය. එහෙත් දියකපන නිලමේවරයා පවසා ඇත්තේ රන් තැටිය පූජා කිරීම ගැන තමා හාන්කවිසියක්වත් නොදන්නා බවය.

කෙසේ හෝ රන්තැටිය අතුරුදන්වීම ගැන වැදගත් හෝඩුවාවක් දැනගන්නට චූටි කපුවාගේ ප්‍රකාශවලින් හැකිව තිබුණේය. ඔහු කියා ඇත්තේ රන්තැටිය පූජා කළ දිනට සතියකට පමණ පසු ප්‍රධාන කපු සොමිපාල රත්නායකගේ දැනුම්දීම අනුව දේවාල මාලිගාවේ සිට රන්තැටිය රතු පැහැති රෙදි කඩකින් ඔතාගෙන ගෙනැවිත් ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල සිටි කාමරයේ මේසයක් මත තැබූ බවයි. ඒ කාමරය මාසය භාර තේවාව කරන කපු මහත්වරුන් නවාතැන් ගන්නා කාමරයයි. මේ අවස්ථාවේදී මුත්තුසාමි කන්දසාමි නොහොත් කන්දා නමැත්තා සොමිපාල රත්නායකගේ කකුල් මිරිකමින් සිට ඇත්තේය. කන්දා යනු දේවාලයේ මුරුතැන් උයන පුද්ගලයාය. රන්තැටිය ගෙනැවිත් සොමිපාල රත්නායකට භාර දෙන අයුරු කන්දා ද දැක ඇත්තේය. ඒ බව ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේය.



කෙසේවුවද රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කරන අතරේ දේවාලයට පූජා කළැයි කියන රන් තැටියක් දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත 2021 ඔක්තෝබර් 26 වැනිදා භාර දී ඇත්තේය. එය ගෙනැවිත් තිබුණේ මුණසිංහ මාන්නප්පෙරුමගේ අජිත් පුෂ්පකුමාර නම් නමැත්තෙකි. ඔහු කතරගම ආපනශාලාවක් පවත්වාගෙන යන අතර ඔහු ගබඩාව භාර චූටි කපුවා වන සමන් ප්‍රියන්තගේ සහෝදරයෙකි. ඔහු කියන පරිදි එය ගෙනැවිත් භාර දී ඇත්තේ ප්‍රධාන කපුවාගේ උපදෙස් අනුවය. ප්‍රධාන කපුවා යනු අජිත් පුෂ්පකුමාර සහ චූටි කපුවා යන දෙදෙනාගේ මුත්තාය.

මුත්තා දැනුම්දී ඇත්තේ චූටි කපුවා ගෙනැවිත් දෙන රන්තැටිය ලේකම්වරයාට රැගෙන ගොස් දෙන්නැයි කියාය. රතු පැහැ රෙදි කැබැල්ලක ඔතා ටියුලිප් බෑගයක දමා තිබූ රන් තැටිය චූටි කපුවා විසින් අජිත්ට ගෙනැවිත් දී ඇත්තේය. මේ බව අජිත් පොලිසිය හමුවේ කීවේය. එය දේවාලයේ ලේකම්වරයාට දෙන්නැයි ප්‍රධාන කපුවා කී පරිදි රැගෙන ගිය රන්තැටිය දේවාලයේ ලේකම්වරයාට ලබා දී ඒ වෙනුවෙන් රිසිට්පතක්ද ඔහු ලබාගත්තේය. ඒ රිසිට්පත අජිත්ගේ නමට ලිවීමට ලේකම්වරයා සූදානම් වූ විට එය රන්තැටියේ පිටුපස සඳහන් නමට ලියන්නැයි කීවද ලේකම්වරයා එයට විරුද්ධ වූයේය. රන්තැටිය දේවාලයට භාර දුන් බවට ලේකම්වරයා විසින් රිසිට්පත නිකුත් කර ඇත්තේ රන්තැටිය භාර දුන් පුද්ගලයාගේ නමටය. අජිත් පුෂ්පකුමාර රන්තැටිය රැගෙන ඒමට දින හයකට පමණ පෙර බස්නායක නිලමේවරයාගෙන් ලේකම්වරයාට දුරකතනයෙන් ඇමතුමක් ලැබී තිබුණේ දේවාලයේ වූ ලොකු සිද්ධියක් ගැන කියමිනි. එහෙත් ඒ කුමක්දැයි ලේකම්වරයා නොදැන සිටියේය. බස්නායක නිලමේවරයා දුරකතන ඇමතුම දී පැය කිහිපයකට පසු ප්‍රධාන කපුවාද ලේකම්වරයාට දුරකතන ඇමතුමක් දුන්නේය.

ඔහු කීවේ, “දේවාල මාලිගාවේ තිබූ රන් තැටියක් චූටි කපු මහත්තයා ගෙදර ගෙනිහිල්ලා තියෙනවා. ඒක චූටි කපු මහත්තයා ගෙනැල්ල දේවි. ලේකම්තුමා ඒක භාරගෙන කුවිතාන්සියක් දීලා එයාගෙන් ලියුමකුත් ගන්න... ” යනුවෙනි.

ප්‍රධාන කපුවා කියූ දේ ලේකම්වරයා බස්නායක නිලමේවරයාට දුරකතනයෙන් දැනුම් දුන්නේය. එහෙත් ප්‍රධාන කපුවා කියූ පරිදි එදින චූටි කපුවා රන් තැටිය රැගෙන ආවේ නැත. චූටි කපුවාගේ සහෝදරයා වන අජිත් රන් තැටිය රැගෙන ආවේ ඊට දින පහකට පසුවය.

පොලිසිය සැකකරන්නේ මෙලෙස පසුව ලේකම්වරයාට භාර දී ඇත්තේ අංගොඩ ලොක්කාගේ බිරිය විසින් දේවාලයට පූජා කළ රන් තැටිය නොවන බවය. එසේ සැක කරන්නට හේතු වූයේ රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කෙරෙන අතරතුරේදී රන්තැටිය දේවාලයේ ගබඩාවට භාර දීමය.

එමතු නොව චූටි කපුවා පොලිසියට පවසා ඇත්තේ දේවාලයේ රන් තැටියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ගේ නමත් ගෑවී ඇති බවට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් පැතිර ගිය බවට ලද තොරතුරකි. එමෙන්ම අතුරුදන් වූ රන්තැටිය වෙනත් රන් තැටියක් සෑදීමට තමන් මුත්තාට මුදල් දෙන්නම් යැයි පැවසූ බවද ඔහු කියා ඇත්තේය. එහෙත් මුත්තා ඔහුට ඒ අවස්ථාවේදී බැණ වැදුණු බවද ඔහු පොලිසිය හමුවේ කීවේය.

එපමණක්ද නොවේ අංගොඩ ලොක්කාගේ අවශ්‍යතාව අනුව සුමිත්ගේ මැදිහත්වීමෙන් රන්තැටිය සදා නිම කළ රන්කරුවාට දේවාලයේ චූටි කපුවා දුරකතනයෙන් අමතා කියා ඇත්තේ ඒ ආකාරයේම රන් තැටියක් තමන්ටත් සාදා දෙන්නැයි කියාය. ඒ 2021 වසරේ ඔක්තෝබර් 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකය. චූටි කපුවා දුරකතනයෙන් ඇමතූ දිනට පසුදින ඔහු රන්කරුවා හමුවීමට පැමිණ රුපියල් ලක්ෂ විසිපහක් සහ පවුම් දහයක රන් මාලයක් ගෙනැවිත් දුන් බව රන්කරුවා පොලිසිය හමුවේ කීවේය. සුජිත්ට සාදා දුන් රන්තැටියේ ඡායාරූපයක්ද චූටි කපුවා වට්ස්ඇප් මගින් තමන්ට එවූ බවත් කලින් සෑදූ රන්තැටියේ බර ඒ ආකාරයෙන්ම තිබිය යුතු බවත් චූටි කපුවා දන්වා ඇත්තේය. රන්තැටිය පිටුපස කොටා තිබූ නම හා දිනය ද ඒ ආකාරයෙන්ම අලුත් රන් තැටියේද කෙටුවේය. රන්කරුවා පවසන පරිදි අලුත සෑදූ රන්තැටියේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිස් එකක් පමණය. මෙලෙස පසුව යළි රන් තැටියක් සෑදු බවද චූටි කපුවා පොලිසිය හමුවේ පිළිගෙන ඇත්තේය.

චූටි කපුවාගේ සහෝදරයා අතේ දේවාලයේ ලේකම්වරයා වෙත යවා ඇත්තේ මෙලෙස පසුව සෑදු රන් තැටිය බවට අනාවරණය වී ඇත්තේය. එමෙන්ම චූටි කපුවා පොලිසියට කියා ඇත්තේ මෙම රන්තැටිය සාදවන්නැයි තමන්ට කීවේ මුත්තා බවය. මුත්තාගේ තේවාව ඇති කාලයේදී මුදල් දෙන බවටද ඔහු පොරොන්දු වී ඇත්තේය. මුත්තා බේරාගැනීමට වුවමනා නිසා තමන් අලුතින් රන් තැටියක් සෑදූ බවද චූටි කපුවා කියා ඇත්තේය.

කෙසේවුවද අංගොඩ ලොක්කාගේ බිරිය විසින් පුතුගේ අපලයට දේවාලයට පූජා කළ රන්තැටියට වූයේ කුමක්දැයි තවමත් අබිරහසකි. රුහුණු මහා කතරගම දේවාලයේ අනෙක් කපුවන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ දේවාලයට රිසිට්පත් කඩා පූජා කරන මුදල් හා පූජා භාණ්ඩ දේවාලයට අයත් බවය. එහෙත් බැතිමතුන් විසින් කපුවන් හරහා පූජා වට්ටි සමග පූජා කරන මුදල් හා දේවරූප සහිත භාණ්ඩ හැර අනෙකුත් රන් භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ මාසයේ තේවාව භාර කපුවන් ප්‍රයෝජනයට ගන්නා බවය. එමෙන්ම එය වසර ගණනාවක සිටම රුහුණු මහා කතරගම දේවාලයේ පැවත ආ සම්ප්‍රදායක්ය. මේ බව කියන්නේ දේවාලයේම කපුවන්ය. දේවාලයේ කපුවන් ලක්ෂපතියන් වී සිටින්නේ කෙසේදැයි අමුතුවෙන් කියන්නට වුවමනා නැත්තේය.

අංගොඩ ලොක්කාගේ බිරිය රන්තැටිය පූජා කර ඇත්තේ ප්‍රධාන කපුවා වන සොමිපාල තේවාව කළ මාසයේදීය. දේවාලයේ කපුවන් කියූ සම්ප්‍රදායට අනුව කපුවාට භාර දුන් රන් භාණ්ඩවල අයිතිය හිමිවන්නේද ඔහුටය. එහෙත් එය හුදෙක් සම්ප්‍රදායක් මිසක නීතියක් නොවන බව සැබෑය. ඇරත් බැතිමතුන් භාණ්ඩ පූජා කරන්නේ දෙවියන්ට මිස කපුවන්ට නොවේ.

කෙසේවුවද කතරගම දේවාලයේ රන්තැටිය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශන අවසන් නැත්තේය. එහෙත් රන්තැටිය අතුරුදන්වීමට අදාළව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක නමැත්තා හා දේවාලයේ ගබඩාව භාරකරු වන චූටි කපුවා අත්අඩංගුවට ගන්නට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී ඇත්තේය.

පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාටත් කොකා පෙන්වා මුහුණු සයක් ඇස් දොළහක් ඇති කතරගම දෙවියන්ගේත් ඇස් වසන්නට තරම් ජගතා කවුදැයි නුදුරු දිනකදීම දැනගත හැකිවනු ඇත.
 - තිස්ස රවීන්ද්‍ර පෙරේරා, අනීෂා මානගේ