keheliya-rambukwella-speaks

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (26දා) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි හා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට

අවශ්‍ය බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දන්වා තිබෙන අතර, එම තොරතුරු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ උදෑසන 10.00ට පමණ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් අදාළ ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ.



ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඉකුත් (18දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසුව ඒ මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණ.මේ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලේකම් හා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පස් දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. මේ අතර ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධය පිළිබද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කොටුව මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.



කෙසේ වෙතත්, අමාත්‍යවරයා විසින් අදාළ පරීක්ෂණ කටයුතුවලට සහාය වීම සදහා ස්වෙච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26දා) ප්‍රකාශයක් ලබා දුන් බවද එහි සදහන් කර ඇත. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

“ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධය පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත එවකට ඒ මහතාගේ උපදේශක ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා විසිනි.එහෙත් එකී තත්ත්වය වසන් කරමින් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් අසත්‍ය ප්‍රචාර ගෙනයාම නිසා හා අදාළ සිද්ධියට අදාළව අමාත්‍යවරයා සතු ලිඛිත මෙන්ම අනිකුත් සාක්ෂි පරීක්ෂණ වඩාත් විධිමත්ව කරගෙන යාමට අවශ්‍ය බව අමාත්‍යවරයාට

හැඟී ගිය හෙයින් අමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව පරීක්ෂණ කටයුතුවලට සහය වීමට අමාත්‍යවරයා විසින් ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබා දීම 26 දින සිදු විය.”

ඉන්දික හේවාවිතාරණ/ දිනේෂ් සමරකෝන්