kesbewa-hand-write-theft

කැස්බෑව, මාකන්දන අලෙවි කළමනාකරුවකුගේ මාකන්දන නිවසින් රන් භාණ්ඩ සොරාගත් අසල්වාසී විවාහක පුද්ගලයා එම නිවසේ කාමරයේ ඇඳ අසල බිත්තියේ ලියා තිබූ පරුෂ වචනවල සඳහන් අත් අකුරුවලින් හදුනාගෙන අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු එම නිවසින් සොරාගෙන තිබූ රන් කරාබු ජෝඩු දෙකක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරු එම නිවසින් රන් භාණ්ඩ සොරාගැනීමෙන් අනතුරුව නිවස අසලම අසූචි කර අනතුරුව අලෙවි කළමනාකරුගේ සුරූපී බිරියගේ ඡායාරූපය අත දරාගෙන සතුටු වී ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



පැමිණිලිකාර අලෙවි කළමනාකරු සිය බිරිය සහ දරුවා සමග දින හතරක පමණ කාලයකට නිවාඩුවක් ගත කිරීම සඳහා දියතලාවට ගිය කෙටි කාලය තුළදී මෙම සොරකම සහ ක්‍රියාව සැකකරු විසින් සිදු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

නිවසේ ජනේලයක් කඩා ඇතුළු වී තිබූ සැකකරු රන් භාණ්ඩ සොරාගැනීමෙන් අනතුරුව අඹුසැමි යුවළ නිදාගන්නා කාමරයට ගොස් ඇඳ අසල බිත්තියේ ආසයි යනුවෙන් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පරුෂ වචන පෙළක් ලියා අනතුරුව පැමිණිලිකරුගේ සුරූපී බිරියගේ ඡායාරූපය ගෙන සතුටුවී අනතුරුව ජනේලය අසල අසූචි කර පිට වී ගොස් ඇතැයි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.



සැකකරු එදින පැයකට අධික කාලයක් නිවසේ ගත කර මුළුතැන්ගෙයි දොරින් පිටවී ඇතැයිද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

පරුෂ වචන පෙලෙහි සඳහන් ආකාරයට නිවස ආසන්නයේම පුද්ගලයකු මෙම සොරකම සහ ක්‍රියාව සඳහා පැමිණ ඇති බවට සිදු කළ දීර්ඝ විමර්ශනවල දී තහවුරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු පොලිස් භාරයට ගෙන සිදුකළ අත් අකුරු පරීක්ෂාවේදී බිත්තියේ අත් අකුරු සමග සැකකරුගේ අත් අකුරු ගැලපීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් රන් ආභරණ කැස්බෑව ප්‍රදේශයේ රන් ආභරණ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

මඩපාත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 34 හැවිරිදි සැකකරු තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 75769 ජයතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන 97224 දිසානායක, 103839 චතුරංග, 7419 කුලතුංග මහත්වරු පරීක්ෂණ පවත්වති.

  බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ