kirulapona-hostel-abuse

කිරුලපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් රැසක් අපයෝජනය කළ බව කියන 63 හැවිරිදි දේව ගැතිවරයෙකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය සඳහන් කරයි. අසභ්‍ය දර්ශන අඩංගුව තිබූ සැකකරු පරිහරණය කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇත.නේවාසිකාගාරයේ රැඳී සිටි 23 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 11 සහ 18 අතර පසුවන දැරියන් 8 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එම පිරිස අතර පවුල් තුනක සහෝදරියන් හයදෙනෙකු වන බව පොලිස් නිලධාරීනියක් පැවසුවාය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියක් විසින් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට මීට දින කීපයකට ඉහතදී

පැවසීමෙන් අනතුරුව විදුහල්පතිනිය විසින් දුරකථනය ඔස්සේ කිරුලපන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මූලික විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ලද පැමිණිල්ල අනුව එම නේවාසිකාගාරය ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවලදී එහි රැදි සිටින 23 හැවිරිදි, තරුණිය රැකියාවක් සිදුකරන බවත් අනෙක් දැරියන් අටදෙනා පාසල් යන බවත් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

දැරියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් දැරියන් සිව් දෙනෙකුට සැකකාර දේවගැතිවරයා අපයෝජනය කර ඇති බවත් තවත් දැරියකට ඔහු පරිහරණය කරන ජංගම දුරකථනයේ ඇතුළත් අසභ්‍ය දර්ශන පෙන්වා අපයෝජනය  කළ බවට

අනාවරණය වීමෙන් සියලු දෙනා රෝහල්ගත කිරීමට පියවර ගත් බව පොලිස් නිලධාරිනිය  වැඩිදුරටත් පැවසුවාය.කිරුලපන පොලිස් වසමේ දේවස්ථානයකට අනුබද්ධ මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකර නිති විරෝධී අයුරින් පවත්වාගෙන යන එකක් බවට මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .මේ සදහා සැකකාර දේව ගැතිවරයාට උදව් උපකාර කළ තවත් පුද්ගලයන් සිටී දැයි සොයා දීර්ඝ විමර්ශන සිදු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.කිරුලපන පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ