kohuwala-theft-nabbed

දෙහිවල සහ කොහුවල නිවාස බිඳුම් ගණනාවකට සම්බන්ධ රුපියල් ලක්ෂ විසි දෙකකට අධික වටිනා පෞරාණික දේපළ සොරාගත් ප්‍රධාන සැකකරු හෙරොයින් මිලි ග්‍රෑම් 13600 ක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසියේ අපරාධ අංශය පැවසීය.

 සොරාගත් භාණ්ඩ අලෙවියේ නියුතුව සිටි පුද්ගලයන් දෙදෙනකු ද දේපළ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙහි ප්‍රධාන සැකකරු තිස්සමහාරාමයේ පදිංචිකරුවකු බවත් දෙහිවල නවාතැන්පලක පදිංචිව සිටිමින් වායු සමීකරණ ආයතනයක සේවය කරන බවත් පොලිසිය කියයි. වයස අවුරුදු 26 ක් වන සැකකරු අධික ලෙස හෙරොයින් පානයට හුරුවී ඇති බවත් දිනකට රුපියල් දස දහසක් ඒ සඳහා වැය කරන බවත්,

වැටුප මදිකමින් අමතර ආදායම් සඳහා මෙලෙස නිවාස බිඳුම් කරනු ලබන බවත් පොලිසිය පවසයි.

දෙහිවල හිල් වීදිය මේධංකර පාරදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 13600 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සැකකරු සන්තකයේ තිබූ මුදල් පසුම්බිය වෛද්‍යවරයාගේ නිවසින් සොරාගත් එකක් බවත් එහි තිබී වැදගත් ලිපි ලේඛන කීපයක්ද හමුවී ඇති බවත් පොලිසිය පවසයි. සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකරු එම වෛද්‍යවරයාගේ නිවස දෙවතාවක් බිඳ දේපළ සොරාගනු ලැබ ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකරුගේ ප්‍රකාශ මත ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් දෙවන හා තෙවන සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිව සිටින වයස අවුරුදු 25 හා 48 ක්ද වන අය බවත් ප්‍රධාන සැකකරු සොරාගන්නා ලද දේපළ අලෙවියේ නියුතුව සිටින්නන් බවත් අනාවරණයවී තිබේ. සිදු කළ විමර්ශනයේ දී ඔවුන් විසින්

ග්‍රෑන්ඩ්පාස් හා දෙහිවල, කොහුවල විවිධ පුද්ගලයනට ඉතා අඩු මුදලට සොරාගත් දේපළ අලෙවිකර තිබූ බවත් වෛද්‍ය නිවසින් සොරාගත් සැම්සුන් ඒ - 10 ජංගම දුරකථන 4 ක්, රන් හා සිල්වර් ආලේපිත කාන්තා අත්හරලෝසු 1ක්, පවර් බෑන්ක් 1ක්, ලැප්ටොප් පරිගණක 1ක්, පිත්තල බුදු පිළිම 1 ක්, පිත්තල නටරාජා පිළිම 1 ක්, පිත්තල ඇතුන් 2ක්, පිත්තල කෙන්ඩි 1ක්, පිත්තල සෙම්බූ 1ක්, පිත්තල බුලත් හෙප්පු 1ක්, කළු පැහැති සපත්තු ජෝඩු 1ක්, කළු පැහැති රුපියල් දෙලක්ෂ හතළිස් දහසක් වටිනා ඇස් කණ්ණාඩි 2ක් ඇතුළු දේපළ පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලිසිය පැවසීය. සිදුකළ විමර්ශනයට අනුව ප්‍රධාන සැකකරු කොහුවල ප්‍රදේශයේ නිවාස හතරක් බිඳ ඇති අතර එක් නිවසක ගෙහිමියන් අවදිවීම නිසා කලබල වූ සැකකරු ගෙහිමියාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයිද පොලිසිය පැවසීය.

වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි 2 එම්.ඩී.ඩී. නිලංග යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්.ඒ.එස්.යූ.කේ. ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 4507 බණ්ඩාර, 77154 තෙන්නකෝන්, 90027 විතාරණ, 91860 චාමර, 7844 කුෂාන්, 9004018 තාරක යන නිලධාරීහු සිදුකරගෙන යති.

    දෙහිවල එච්. එම්. ධර්මපාල