මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු බව කියන මට්ටක්කුලියේ පදිංචි කුඩු රොෂාන් නමැත්තාට අයත් කෝටි පහමාරකට ආසන්න වටිනා සුවිසල් නිවාස දෙකක් හා මෝටර් රියක් ඇතුළු දේපොළ අධිකරණය මගින් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු බියට පත්වී වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී කුඩු රොෂාන් නමැත්තා සහ පිරිමි දහ දෙනෙක්, කාන්තාවන් පස් දෙනෙක් හා දරුවෝ 8 දෙනෙක් වරකාපොළ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අනුව කරනු ලැබූ දීර්ඝ විමර්ශන වලින් හෙළිවූ තොරතුරු මත කුඩු රොෂාන් නමැත්තාට අයත් යැයි පැවසෙන ඒකල රජවත්ත ප්‍රදේශයේ නවීන පන්නයේ දෙමහල් නිවසක් සහ එහි තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, ජාඇල, නිවන්දම ප්‍රදේශයේ තවත් නවීන පන්නයේ නිවෙසක් සොයාගනු ලැබීය.
කුඩු රොෂාන් නමැත්තා එම දේපළ ඔහුගේ අනියම් බිරියකගේ නමට හා ඥාතීන්ගේ නම් වලට ලබාගෙන ඇති බවත්, ඒකල, රජවත්ත ටෙරන්ස් හි පිහිටි නවීන පන්නයේ පන්නයේ නිවෙස රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයකට අවස්ථා තුනකදී මුදල් ගෙවා ලබාගෙන ඇති බවත් පොලිසිය කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.කුඩු රොෂාන්ට අයත් නවීන මෝටර් රථය රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගයාන් සූරියආරච්චි
0 Comments