මියගිය පුද්ගලයෙකුගේ සත් දින දානමය පින්කමට පෙර දින රාත්‍රියේ ධර්ම දේශනාවකට ඉකුත් වප් පුර පසොළොස්වක පොහොයදා වැඩම කළ ආරණ්‍ය සේනාසනාධිපති හිමිනමකට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා පමුණුවා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර පොලිස් යතුරුපැදියක් පැහැර ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පළමු සැකකාර කුරුළුගම විහාරාධිපති හිමිනම දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් ළඟම ඥාතීන් වියයුතු බවට ද නියෝග කළේය. සෑම මසකම අවසන් ඉරුදින කැබිතිගොල්ලෑව පොලිසියට වාර්තා කළ යුතු බවට ද නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හැරියේ කැබිතිගොල්ලෑව කලවැදිඋල්පත කුරුළුගම විහාරාධිපති රංජුරාවේ සුගතවංශ නමැති හිමිනමකි.
පළමු සැකකාර විහාරාධිපති හිමිනම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය කියා සිටියේ පළමු සැකකාර කුරුළුගම විහාරාධිපති රංජුරාවේ සුගතවංශ හිමිනම දිවයිනේ නම ගිය අපරාධකරුවකු ලෙස ලේඛන තව ඇති බවයි. පළමු සැකකාර හිමිනමට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධමය පෙර වැරදි 4ක් පවතින බව ද පොලිසිය පැවසීය. පළමු සැකකාර හිමිනම සිය පැවිදි ජීවිතයේදී නම් හතරකින් පෙනී සිට ඇති බව ද අධිකරණයට සැළකල පොලිසිය ධර්ම දේශනයට වැඩම කළ වාහල්කඩ ඩී 8 ඉසිගිරිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පදවියේ විජිත බුද්ධි හිමියන්ට පහර දීමේ සිද්ධියට මුල්වී ගම්මුන් මෙහෙයවමින් ඒ හිමියන්ට පළමුව පහරදී ඇත්තේ පළමු සැකකාර හිමිනම විසින් බව ද කියා සිටියේය.
අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් හිමිනමකට පහරදී තුවාල සිදු කිරීම, ඒ හිමිනමට අයුතු අවහිරය සිදු කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කිරීම, ත්‍රිරෝද රථයකට අනර්ථය සිදු කිරීම, පොදු දේපළක් වන පොලිස් නිල යතුරුපැදියක් කොල්ලකෑම සහ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීම යන චෝදනාවලට සබැඳිව පොදු දේපළ පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් මංගල වික්‍රමනායක මහතාගේ විශේෂ නියෝගයක් මත අධිකරණයට කරුණු දැක්වීම සඳහාම විශේෂයෙන් පත් කළ වාහල්කඩ පොලිසියේ සැරයන් (21504) ධම්මික සහ කොස්තාපල් (49544) සෝමරත්න යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ දිලීෂියා දිසානායක මහත්මිය පෙනී සිටියාය.
අනුරාධපුර - උපාලි ආනන්ද
0 Comments