බුවනෙකබාහු රජු සමයේ ඉදිකළ රාජසභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අය කර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත. එම මුදල නැවත අයකර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනාට අධිභාර නිවේදන යැවීමට කටයුතු සකස් කරමින් පවතින බව වාර්තා වේ.
රාජසභා මණ්ඩපය කඩාදැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින්
ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු සඳහා පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල මහ නගර සභාවේ උසස් නිලධාරියෙකු පැවසීය. මුදල් ලබාගැනීම සඳහා සභා අනුමැතියද ලබාගෙන තිබෙන බවද එම නිලධාරීයා සඳහන් කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ එම නඩුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරාජය වීම හේතුවෙන් නගර සභා ආඥා පනතට අනුව ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල නැවත ප්‍රතිපූරණය කර ගැනීමට සිදුවන බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස මේ වනවිට බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට අධිභාර නිවේදන තැපැල් මගින් භාරදීම ගැටලුවක් වන බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර කුරුණෑගල මීගමු පාරේ පදිංචි ප්‍රියංකර ලියනගේ නමැති අයද කුරුණෑගල මහ නගර සභාවෙන් නීත්‍යනුකූල නොවන ආකාරයට වැය කර තිබෙන එම මහජන මුදල් නැවත සභාවට අයකර දීම සඳහා නාගරික පුරවැසියෙකු වශයෙන් තමන් අධිකරණය හමුවට යන බවද ප්‍රකාශ කළේය.රාජසභා මණ්ඩපයට හානි කිරීම මහ සභා අනුමැතියකින් තොරව කරන ලද දෙයක් බවත්, එවැනි දෙයක් වෙනුවෙන් සභාව සතු මුදල් පෞද්ගලික නීතිඥවරුන් සඳහා වැය කිරීම නීතිව්රෝධී ක්‍රියාවක් වන බැවින් හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස නීති ගාස්තු වශයෙන් වැය කර තිබෙන කෝටි ගණනක එම මුදල ඔවුන් ආපසු සභාවට ගෙවිය යුතු බවද ලියනගේ මහතා පැවසීය.
කුරුණෑගල මහ නගර සභාව තුළ දූෂණ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව සඳහන් කරමින් ලියනගේ මහතා මීට පෙරද අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූ අතර, එම නඩුව සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඒක පුද්ගල පක්ෂණ කමිටුවක්ද පත් කරනු ලැබීය.මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල හිටපු නගරාධිපතිවරයෙකු වන හිටපු නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ පෙන්වා දුන්නේ,
මෙම මුදල තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිස නොගෙවන්නේ නම් පමණක් මහ නගර සභා ආඥා පනතට අනුව එම මුදල සභාවෙන් ගෙවීම සඳහා අනුමැතිය ලබාදුන් හිටපු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගෙන් එම මුදල අයකර ගැනීමට සිදුවන බවයි.තමන් සමග තවත් හිටපු නගරාධිපතිවරයෙකු වන සුමේධ අරුණශාන්ත (සජබ) සහ රණුක සනන්ජය(ජවිපෙ) තිදෙනා පමණක් එම මුදල අනුමත කිරීමට එදා විරුද්ධ වූ බවද ඒ මහතා පැවසීය.
ගීතාංජලී ප්‍රියදර්ශනී
0 Comments