kurunegala-incident

භාවනා මධ්‍යස්ථානයක් යැයි කියනු ලබන ස්ථානයක තම එකම පුතු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතාගේ උපදෙස් අනුව, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක වන, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි, ඩබ්ලිව්.එම්. අයිරින් චාලට් නමැති කාන්තාවක මෙම පැමිණිල්ල කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක රාගම සුගතානන්ද හිමියන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සමග මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ස්ථානයට ගොස් ඇත.



එහිදී කළ සොයා බැලීම් වලින් අනාවරණය වී ඇත්තේ, ඉන්දියාවේ කේරළයේ උපන් අයකු මෙරටට පැමිණ පැවිදි වී මෙම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කර ඇති බවය.

එසේ ආරම්භ කරන ලද මෙම භාවනා මධ්‍යස්ථානය සඳහා මෙතෙක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාගෙන  නොමැති අතර, ඒ අනුව, මෙය අනුමැතියකින් තොරව පෞද්ගලිකව පවත්වාගෙන යන භාවනා මධ්‍යස්ථානයක් බව එහිදී අනාවරණය වී ඇත.

විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරිය මේ සම්බන්ධයෙන් දුම්මල සූරිය පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිලිකාරියට එක් දියණියක ද සිටින අතර, මේ ආකාරයට බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව කියන පුතුගේ වයස අවුරුදු 30කි.



විවාහයෙන් නීත්‍යනුකූලව බිරිඳගෙන් වෙන්ව සිටින ඔහු ඉතාලියේ රැකියාවක් සඳහා සූදානමින් සිටින අවස්ථාවක එම රැකියාවට ද යා නොහැකි වන ආකාරයට බලහත්කාරයෙන් තම පුතු රඳවා ගෙන සිටින බව ඔහුගේ මව පැවැසුවාය.

අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම භාවනා මධ්‍යස්ථානය බව පැවැසෙන ස්ථානය ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.

දොළුකන්ද ඓතිහාසික පුදබිම පිහිටි ප්‍රදේශයට ආසන්නව මීට වසර දෙකකට පමණ ඉහත දී ආරම්භ කර ඇති බව කියන මෙම ස්ථානය පෞද්ගලික අයිතිය සහිත, අක්කර දහයකින් පමණ සමන්විත බිම් පෙදෙසක පවත්වාගෙන යන බව කියති.

එම භූමියේ ගස් කොළන් විශාල ප්‍රමාණයක් කපා දමා, ඒවායින් දැව ලබාගෙන ඇති බව ද, භූමිය තුළ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බව ද සුගතානන්ද හිමියන් ඇතුළු නිලධාරීන් පිරිසට නිරීක්ෂණය වී ඇත.
  කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න