kuruvita-paradise-lake

කුරුවිට පැරඩයිස් වැව හාරා මැණික් ගැරීම සඳහා වෙන්දේසියේ දැමීම සඳහා එම වැව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදීමට ඊයේ (19දා) පැවති රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තීරණය කළේය.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා එවූ ලිපියක් සහ කුරුවිට තැඹිලියාන පැරකුම් ගොවි සංවිධානය ඇතුළු ස්වේච්ඡා සංවිධාන එකමුතුවකින් එවන ලද ලිපියක් සැලකිල්ලට ගෙන පැරඩයිස් වැව මැණික් කැණීම සඳහා වෙන්දේසියේ දැමීමට අවසර දෙනු ලැබීය.

මෙම වැව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් අක්කර හතක පමණ වපසරියකින් යුතු එකකි. 'වාරිසෞභාග්‍යා' වැඩසටහන යටතේ වැව ගොඩ දැමීමට ගොවිජන සංවර්ධන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මීට පෙර ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම පදනම් කරගෙන සාමාජිකයන් දෙදෙනකුගෙන් සැදුම්ලත් පුද්ගලික සමාගමක් යන්ත්‍ර යොදා මෙහි පස් ඉවත්කර මැණික් ගැස්මට යන්ත්‍ර සුත්‍ර ගෙන ආවත් වැව අද්දර ලේක්සයිඩ් ගම්මානයේ ජනතාවගේ විරෝධය නිසා එය තාවකාලිකව අත්හිටුවන ලදි.

රත්නපුර ගොවිජන කොමසාරිස් කුමාරි ගමඇතිගේ මහත්මිය අවධාරණය කර තිබුණේ මෙම වැවෙන් එකඳු බිම් අඟලක කුඹුරක් හෝ වගා නොකරන බවයි. පතල් කපා කුඹුරු ගොඩවී ඇති බවත්, අස්වැද්දීමට මුදල් ලබා දෙන බව දන්වනු ලැබුවත් එකඳු ගොවියෙකු හෝ ඊට ඉදිරිපත් නොවූ බවත් එහිදී දැනුම් දී තිබුණි. ඒ නිසා වාරිසෞභාග්‍යා වැඩසටහන යටතේ පැරඩයිස් වැවේ පස් ගොඩදැමීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවද දන්වනු ලැබීය.

ඒ අතර ලේක්සයිඩ් ගම්වැසියෝ සම්පත් සුබසාධක සංගමය නමින් අවස්ථා කිහිපයක දීම ලිපි ඉදිරිපත් කරමින් වැව හෑරීම කළහොත් තමන්ගේ ගෙවල් ඉරිතළා විනාශවනු ඇති බව ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ වාර්තා ද උපුටමින් ඉල්ලා සිටියහ. ඒ අනුව තවාකාලිකව අතහිටුවූ පැරඩයිස් වැවේ මැණික් ගැරීමේ ව්‍යාපෘතිය වෙනත් මුහුණුවරකින් ආරම්භ කිර්මට ඊයේ (19දා) අනුමැතිය හිමි විය.



රට පත්ව ඇති මුදල් හිඟයට පිළියම ලෙස ලැබෙන මැණික් වෙන්දේසි කර උපයන ආදායම මහා භාණ්ඩාගාරයට ලබාදීමත්, වැව අවට ස්වේච්ඡා සංවිධාන කිහිපයක සාමාජිකයන්ට ලැබෙන මැණික් ආදායමෙන් මැණික් කැණීම සඳහා ගිය වියදම අඩුකර ලාභයක් ඇත්නම් පමණක් ඉන් 10%ක්ද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට 30%ක්ද ඉතිරි 60%, මැණික් ගැමේ නිරතවූවන්ට ද දෙන කොන්දේසිය මත මැණික් කැණීමට ඉඩ ලබාදීමත් සුදුසු බව හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසුවේය. වැව හෑරීමෙන් ලේක් සයිඩ් ගම්වැසියන්ගේ ගෙවල්වලට වන හානිය සම්බන්ධයෙන් මෙහිදී කිසිදු සැලකිල්ලක් නොදැක්වීම විශේෂත්වයකි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා කමිටුවේ සම සභාපතිත්වය දරයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා කමිටුවේ ලේකම්වරයායි.

දිස්ත්‍රික්කයෙහි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය, පළාත් රාජ්‍ය හා දෙපාර්තමේන්තු ප්‍රධානීහු සෙසු සාමාජිකයෝ වෙති. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පා.ම. ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ පා.ම. මුදිතා ද සොයිසා ද මෙයට පැමිණ සිටියහ. වැව හෑරීමෙන් තමන්ගේ නිවෙස්වලට හානි සිදුවිය හැකි නිසා හෑරීමට ඉඩ නොදෙන්නැයි ඉල්ලා පසුගිය දිනවල විරෝධතා ද පැවැත්විණි. මෙහි අනවසර මැණික් ගැරීමෙන් වැව අපවිත්‍රව ඇතැයි ස්වේච්ඡා සංවිධාන පවසා ඇති බව අකිල එල්ලාවල සභාපතිවරයා පැවසීය.

  අජිත්ලාල් ශාන්තඋදය/රත්නපුර - ලසන්න නිරෝෂණ පෙරේරා