lightning-power-cut-reason

දිවයින පුරා පසුගිය 09දා පස්වරුවේ පැය 5කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම සිදුවූයේ කොත්මලේ සිට බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ වෝල්ටීයතා රැහැන් පද්ධතියට අකුණු සර වැදීමක් හේතුවෙන් යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසා තිබෙන අදහස මතභේදයට තුඩුදී තිබේ. ඒ ගැන ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සඳහන් කරයි.

2015 වසරේ සිට මේ වන විට අවස්ථා පහකදී දිවයිනටම බලපාන ලෙස එකවර විදුලි විසන්ධි වීම් පහක් සිදුවී තිබෙන බවත් පෙරේදා දිනයේ සිදු වූ සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් හතරක් පිළිබඳව සොයා බැලීමට කමිටු පත් කළ බවද එම සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා සඳහන් කළේය.



අදාළ කමිටු විසින් වාර්තා පවා ලබා දී තිබෙන බවත් එම වාර්තාවල නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක වූවාදැයි කිව නොහැකි බවත් පෙරේදා දිනයේදී සිදු වූ විදුලි විසන්ධි වීම යථා තත්ත්වයට පත් කිරීමට පැය පහකට අධික කාලයක් ගත වී තිබෙන බවත් එතරම් කාලයක් ගත වීම පිළිබඳවත් තම සංගමය සෑහීමකට පත් නොවන බවද පවසා සිටියේය.

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධිබලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රිය වී ඇති බවට ප්‍රකාශ වෙමින් තිබෙන බවත් එම පද්ධතියට අකුණක් පතිත වී තිබුණහොත් පද්ධතිය අක්‍රිය විය හැකි බවත් එහෙත් එම තත්ත්වය තුළ දිවයිනේම විදුලිය විසන්ධි වීම ගැන සෑහීමකට පත්විය නොහැකි බවද සඳහන් කළේය.



සාමාන්‍යයෙන් අකුණු ඇතිවීම සිදුවන බවත් මේ නිසා විදුලි පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පාලන පද්ධතියක් තිබෙන බවත් මෙය ඉදිකරන විට තිබූ අපේක්ෂාවන් කොතරම් දුරට සිදුවනවාද යන්න ප්‍රශ්නයක්ව තිබෙන බවද කියා සිටියේය.

දත්ත පදනම්ව විදුලි විසන්ධි වීම යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරනු ලැබුවේ නම් මීට වඩා අඩු කාලයකදී විදුලිය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව තිබූ බවද පවසා සිටියේය.

2021 වසරේ දෙසැම්බර් 3වන දින දිවයිනටම බලපාන ලෙස විදුලිය විසන්ධි වී තිබෙන බවත් මීට අමතරව 2015 සැප්තැම්බර් 27 හා 2016 වසරේදී අවස්ථා දෙකකදී හා 2020 වසරේදි එක් අවස්ථාවකදීත් විදුලිය විසන්ධි වීම් සිදුවී තිබෙන බවද සඳහන් කළේය.

නොරොචෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් විදුලි විසන්ධි වීම සම්බන්ධයෙන් කමිටු පත් කළ පසු කමිටුවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවද පවසා සිටියේය.



මේ අතර රට පුරා පැය 5ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600ක පමණ ආර්ථික හානියක් වූ බවත්, විදුලිය බිඳ වැටීම වැළැක්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මස නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් කළ නිර්දේශ පැහැර හැරීම එයට හේතුව බවත්, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එම නිර්දේශ විදුලිබල අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ බව කී රත්නායක මහතා, එම නිර්දේශ පැහැර හැරීම පිළිබඳව වර්තමාන විදුලිබල අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා වගකිව යුතු බව ද සඳහන් කරයි.මෙවැනිම ආකාරයේ විදුලිය බිඳ වැටීමක් 2021 වසරේ දෙසැම්බර් මස 3 වැනිදා සිදු වූ අතර, ඉන් රුපියල් කෝටි 1,500ක පමණ ආර්ථික හානියක් වූ බව ද රත්නායක මහතා කියයි.