lional-wicrema-passed-away

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 200කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ලයනල් වික්‍රම කලක් තිස්සේ හෘද රෝගී තත්වයෙන් පසුවී අද දින ජීවිතයෙන් සමුගත්තේය.
තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයේ බේබි මහත්තයා ලෙස  රංගනයට පිවිසි ඔහු ධර්මසේන පතිරාජගේ  "ගඟුලෙන් එගොඩට" මුලින්ම දායකවූ ටෙලිනාට්‍යයි. පසුව ‘බට්ටි‘ ටෙලිනාට්‍යයේ ආටි හාමු ලෙසට වඩාත් ජනප්‍රිය චරිතයක් නිරූපණය කළේය.


"ඇල්ල ළඟ වලව්ව"(1988) ටෙලිනාට්‍යයේ ආතර් හාමු චරිතයද මතකයේ රැඳුන රංගනයක් නිරූපණය කළේය.
ගාමිණී ෆොන්සේකාගේ ‘සක්විති සුවය’ සහ ‘සාගරයක් මැද’, ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ සහ ‘සක්කාරං‘ , ලලිත් පන්නිපිටියගේ ‘සංගිලි‘, ජී නන්දසේනගේ ‘දෙවැනි වරම‘ ඔහු රංගනයෙන් දායකවූ විශිෂ්ට නිර්මාණ අතර තිබේ.

“පාසල් වේදිකාව තුළවත් මම රඟපාලා තිබුණේ නැහැ. ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් හැටියට සේවයේ යෙදිලා ඉන්න කොට තමයි සෝමසිරි දෙහිපිටියගෙන් ආරාධනාව ලැබුණේ. ඉන්පස්සේ රැකියාවෙන් විශ්‍රාම ගත්තාට පසු රඟපෑම ජීවිතේම කොටසක් වුණා. ඇත්තෙන්ම එයින් මා ලැබූ ආත්ම තෘප්තිය මෙතකැයි කියන්නට බැහැ.“
ඔහු වරක් පුවත්පතකට පවසා තිබුණි.