lokulunu-issue

වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කරමින් තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් තුනකට 13 දා සීල් තැබූ බව කටුනායක සීදූව නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අයත් සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ මෙම ලොකු ලූනු කන්ටේනර් බාරව සිටි නිලධාරියකු ද අත්අඩංගුවට ගෙන ඇත. එම කන්ටේනර් තුනේ ලොකු ලූනු කිලෝ 20,000කට අධික ප්‍රමාණයක් සඟවා තිබූ බව සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.



කටුනායක සීදුව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.පී. මනිල් සෝමතිලක මහතාට ලැබුණු තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 13 පස්වරුවේ වැටලීමක් කර ලොකු ලූනු කන්ටේනර්වලට මුද්‍රා තැබූහ. නරක් වී, පැළ වී සහ දුගඳ හමන ලොකු ලූනු, සේවකයන් යොදවා පිරිසුදු කරමින් අලෙවිය සඳහා වෙළෙඳපොළට යැවීමට සූදානම් කරමින් සිටි බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ඉන්දියාව ලොකු ලූනු අපනයේදී බද්දක් පනවන බවට මීට මාස කිහිපයකට පෙර පැතිර ගිය තොරතුරක් හේතුවෙන් මෙරට වෙළෙඳපොලේ ලුනු මිල ඉහල ගියේය.ලොකු ලූනු කිලෝවක මිල දැනට රුපියල් 400 ද ඉක්මවා ඇත.



ඉන්දියාව ලොකු ලූනු අපනයනය නතර කරන බවට පුවතක් පළවීමෙන් පසු ඇතැම් ප්‍රදේශවල ලොකු ලූනු රුපියල් 400ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට කළුකඩ වෙළෙඳුන් පියවර ගෙන ඇත.මේ අතර ඇතැම් ප්‍රදේශවල ලූනු හිඟයක් මවා පා ඇතැයි පාරිභෝගිකයෝ පවසති.සීල් තබන ලද මෙම ලොකු ලූනු තොගය මීට මාස තුනකට පමණ පෙර ආනයනය කර වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කර තබන්නට ඇතැයි සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. එම ලූනු බහාලූ ශීතකරණ සහිත කන්ටේනර් තුනේ විදුලිය විසන්ධි කර තැබීමෙන් ඒවා නරක් වී ඇති බවත්, විදුලිය ඉතිරි කර ගැනීම සඳහා විදුලිය විසන්ධි කර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් ඔවුහු පවසති.