malwana-incident

මල්වානේ යබරලුව ප්‍රදේශයේ කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සඳහා ගිය 46 හැවිරිදි විදුලි කාර්මික දෙදරු පියකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිලිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා පෙරේදා (19) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.

මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිලිස්සුණු දෙදරුපියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහු කතා කිරීමට පවා නොහැකි තත්වයක පසුවන බවද පොලිසිය කියයි.ම

ෙම තුවාලකරුගේ බිරියගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මේ දෙදරු පියා ඉකුත් 18 වැනිදා පස්වරුවේ එම දේවාලයට රැගෙනවිත් කපුවා ලවා ශාන්ති කර්මයක් සිදු කර ගෙන නුලක් බැඳ ආපසු නිවෙසට එක් කරගෙන ගොස් ඇති අතර නිවසේ දී පස්වරු 6.30 ට පමණ ඔහු "හූ" කීමට පටන් ගෙන ඇති නිසා නැවත දේවාලයට රැගෙන ගොස් ඇති බව ද පොලිසිය කියයි.එහිදී කපුවා මැටි පහනකට කපුරු දමා දල්වා එම දෙදරු පියාගේ යටි පතුලට අල්ලා ඇති අතර කපුවා දේවාලය තුළට ගිය අවස්ථාවල කපුවාගේ පුතා ද එසේ දැල්වූ පහන යටි පතුලට අල්ලා ඇති ඇති බවත් නිවැසියන් තවදුරටත් පැවසු බව පොලිසිය පවසයි.



ඉන් පසුව දෙදරු පියා රාත්‍රී 11.00 ට පමණ නිවෙසට රැගෙන ගොස් ඇති අතර පසුවදා එනම් 19 වැනිදා උදේ ඔහුගේ යටි පතුලේ දරුණු අන්දමින් දිය පට්ටා හටගෙන තිබු නිසා ස්නායු ආබාධයක් වැළදී ඇති බව පවසමින් නිවැසියන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි. ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර බලා ඔහුගේ සැක කටයුතු තුවාල ඇති බවට රෝහල් පොලිසියට දැන්වීමෙන් පසුව රෝහල් පොලිසිය ඒ බව බියගම පොලිසියට වාර්තා කර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම දෙදරු පියාගේ බිරිඳගේ හා සොහොයුරියගේ ප්‍රකාශ ලබා ගෙන විමර්ශනයක් සිදු කර කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ගනු ලැබ සිටිති. මේ තිදෙනාම යබරලුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කපුවා පනස්වන වියේ හා පුතා තිස්වන වියේ පසුවන අතර ඔවුහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.


ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ