matara-incident

මල්ලීගේ බල්ලාට පිහියෙන් ගසා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මාතර ඌරුබොක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයියා රුපියල් 10,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයේ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මොරවක වැඩබලන මහේස්ත්‍රාත් සුමිත් පස්ගොඩගේ මහතා පෙරේදා 3 වැනිදා නියෝග කළේය.



පැමිණිල්ලේ ඉල්ලීම අනුව පෞද්ගලිකව මානසික වෛද්‍යවරයකු හමුවී පරීක්ෂණයක් සිදු කරගෙන එම වාර්තාව ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. 2024 ජනවාරි 9 වැනිදා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සැකකරුට නියම කෙරිණි.මෙසේ මුදල් හා ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ බෙරලපනාතර, විජයගම,කටුවන ගම්මාචාරිගේ විශ්වානන්ද යන අයයි.

අයියා හා මල්ලී යන සහෝදරයන් දෙදෙනා අතර ඉඩමක් සම්බන්ධයෙන් කාලයක් තිස්සේ ඉඩම් ආරවුලක් පවතින බවත් සිද්ධිය වූ ඉකුත් 30 වැනිදා රාත්‍රී 8.00 ට පමණ අයියා මත්පැන් පානය කර මල්ලීගේ නිවසට පැමිණ බැන වදිමින් ආරවුලක් ඇති කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ බල්ලා බුරාගෙන පැනීම නිසා

බල්ලාට සැකකරුගේ අතේ තිබූ පිහියෙන් පහර දී තුවාල සිදු කර ඇතැයි උසාවියේ දී අනාවරණය විය.පිහියෙන් ගැසීම නිසා බල්ලාගේ කොන්දට වැදී කොන්දට බරපතළ තුවාල සිදුව ඇති අතර බල්ලාගේ තුවාලයට මැහුම් 8ක් පමණ දමා ඇති බවට පොලිසිය අධිකරණයට දැන්වීය.
  ඩී.ඒ. පතිරණ