maththegoda-incident

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට නැග එහි රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදුකොට රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමින් යුත් ත්‍රී රෝද රථයක් කොල්ල කා පලාගිය පුද්ගලයකු ත්‍රි රෝද රථය ද සමඟ ඊයේ (07) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව උස්වත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර බොරලැස්ගමුව ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් නවතා කහතුඩුවට කුලී ගමනක් යාමට යැයි පවසා ත්‍රිරෝද රථයට නැග තිබේ.



කහතුඩුව උස්වත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි තිබූ බෑගයක් ගෙන පසුව එම ත්‍රිරෝද රථයෙන්ම කිරිගම්පමුණුව රජමහා විහාරය අසලට පැමිණ අතුරු මාර්ගයක් ඔස්සේ ගොස් ත්‍රී රෝද රථයේ රියදුරුගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජනය කොට බිමට ඇද දමා ත්‍රිරෝද රථය කොල්ලකා පලා ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය කොල්ලයෙන් පැය කිහිපයකට පසුව ත්‍රිරෝද රථය දෙහිවල ප්‍රදේශයේ මහ මග දමා ගොස් තිබිය දී පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ දී කොල්ලකරු සමග පොර බැදීමෙන් ගෙලෙහි වූ බරපතළ තුවාල සහිතව ලේ වැගිරෙමින් යාබදව තිබූ විහාරස්ථානය අසලට පැමිණි රියදුරු එහි සිටි පුද්ගලයකුට සිද්ධිය පවසා ඔවුන්ගේ සහායෙන් ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලටත් පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබුණි.

ඒ අනුව සැකකරු සොයා විමර්ශන සිදුකරමින් සිටිය දී මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට ලද

තොරතුරකට අනුව බොරැල්ල වනාත ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද කහතුඩුව, ගල්කිස්ස සහ බොරලැස්ගමුව ප්‍රදේශවල සිදු කළ සොරකම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටි අයකු බවත් හෙරොයින් පානයට මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙසේ සොරකම් කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ 07වැනිදා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී දර්ශන කුරුකුලසූරිය මහතාගේ උපදෙස් මත මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප චානක, පො.සැ (62371) සරත්, පො.කො. (23671) උඩුගම, (24810) කුමාර, (24874) බණ්ඩාර, (71504) සේනානායක, (102011) කුමාර ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

  මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න