mawanella-accident

මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක ගැටීමෙන් සිය දරු දෙදෙනා පාසලට ඇරලවා ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටි කාන්තාවක ඊයේ 20 වැනිදා පෙරවරුවේ මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පැවැසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ 43 හැවිරිදි නිලන්ත රේණුකා නමැති තිදරු මවකි.



මිය ගොස් ඇති තිදරු මවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බවත් ඇයට වයස අවුරුදු 20 පිරිමි දරුවකු, වයස අවුරුදු 13 හා 07 ක දැරියන් දෙදෙනකු සිටින බවත් පොලිසිය පැවැසීය.

බාල දියණියන් දෙදෙනා ඊයේ 20 වැනිදා පෙරවරුවේ හිඟුල මාකඩවර විද්‍යාලයට ඇරලවා ආපසු නිවෙස වෙත මහනුවර දෙසට මාර්ගය අයින දිගේ ගමන් කරමින් සිටියදී මහනුවර දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් රියැදුරුට නින්ද යාමෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ඇදී ගොස් කාන්තාව ද යට කරගෙන නතර වී ඇති බවත් පොලිසිය පැවැසීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් තිදරු මව මිය ගොස් සිටි බව පොලිසිය පැවැසීය.

වෑන් රථයේ රියැදුරු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.



මිය ගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ 20 වැනිදා මාවනැල්ල රෝහලේ හදිසි මරණ පරීක්ෂක යූ.එම්.ටී.බී.ඩබ්ලිව්. උලගොඩ මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි.

මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන කටයුතු කළහ.

  මාවනැල්ල -පී. ශාන්ත බණ්ඩාර, කෑගල්ල -චමින්ද වැවතැන්න