mawathagama-girls-found-in-matara

දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදී ඊයේ 25 වැනිදා උදෑසන පොලිසිය භාරයට ගත් බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි.
ඉකුත් 1 වැනිදා කුරුණෑගල නගරයේ කොරියානු භාෂා පන්තියකට යන බව පවසා ගිය තරුණියක සිය මිතුරිය සමග අතුරුදන්ට ඇති බවට ඔවුන්ගේ මවුපියන් ගලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන වෙත කර තිබූ පැමිණිල්ලක් අනුව

ඔවුන් සොයා ගැනීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබීණි.
තරුණියන් දෙදෙනා මාතර උයන්වත්තේ නිවෙසක සිටින බවට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි හේතා වෙත ලද තොරතුරකට අනුව ඔවුහු පොලිසිය භාරයට ගනු ලැබූහ.
තරුණියන් දෙදෙනා කුරුණෑගල සිට බස් රථ වලින් මාතර නගරයට පැමිණ ලොතරැයි විකුණන කාන්තාවක මාර්ගයෙන් රුපියල් අට දහස බැගින් කුලි ගාස්තු ගෙවීමේ පදනම මත බෝඩිම් කාමරයක නතර වී ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඉන් පසුව එම දෙදෙනා මාතර නගරයේ ලවර්ස් ආභරණ අලෙවි සලක රැකියාවක් සොයා ගෙන එහි සේවය කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් ආරක්ෂාව සඳහා පොලිසිය භාරයට ගැනුණු තරුණියන් දෙදෙනාගේ මවුපියන් කැඳවා

ඔවුන් බාර දීමට පොලිසිය සැලසුම් කර තිබුණි.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාතර 1 අයි. ජී. චන්ද්‍රසේන මහතාගේ අධීක්ෂණය යටතේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුනි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)