mihinthale-thera-issue

මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්‍ෂක සෙබළුන් ඉවත් කරනවා. විදුලිබල මණ්ඩලය ජල සම්පාදනය මණ්ඩලය යමකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද. මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා. හමුදාව ඉවත් කිරීම පෞද්ගලික පලිගැනීමක් බව ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.



රටේ පන්සල් පල්ලි කෝවිල් හැම තැනකම ආරක්‍ෂක අංශ සාමාජිකයන් සේවයේ යොදවලා ඉන්නවා. ආරක්‍ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික වැඩ කරන්නේ නැහැ. සිවුරු හෝදන්නේ නැහැ. දාන මාන සකස් කරන්නේ නැහැ.

එතැනදී යුද හමුදාව ද දස මහ යෝධයන් ද නාවික හමුදාව ද සිවිල් ආරක්‍ෂක බළකායද ගුවන් හමුදාව ද පොලිසියද කියන එක අදාළ නැහැ සිවුවනක් පිරිසට තමයි මේ සියලු දෙනා අයිති වෙන්නේ. මම එදා කතා කළේ හමුදා ස්වෙච්ඡා සේනාංකයක සෙබළුන් දෙදෙනකු ගැන. නොච්චියාගම කඳවුරක අණදෙන නිලධාරියකු තමයි මෙහෙට ඒ දෙන්නා එවලා තියෙන්නේ.

මින් ඉදිරියට මෙම විහාරස්ථානයේ, ධාතු මන්දිරය, අක්කර දහස් ගාණක පැතිරී ඇති පුරාවිද්‍යා නටබුන්වල ආරක්‍ෂාව පුදබිම සුද්ධ පවිත්‍ර කිරීම ඇතුළු සියලු දේ ආණ්ඩුව කළ යුතුයි.



ඒ දෙන්නා විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා හිටියලු. එහෙම ගන්න ඕන නම් එතන සංචාරක පොලිසියක් තිබෙනවා. මිහින්තලේ පොලිසිය තිබෙනවා. මැද මළුවේ පොලිස් මුළුපොළක් තිබෙනවා. ඒවායේ විස්තර තිබෙනවා.

මම තමයි විහාරාධිපති. කවුරු හරි මෙහි එනවා නම් මට දැනුම් දීලා එන්නේ. මේ දෙන්නට මෙතන අකටයුතු වැඩක් කරලා හැංගිලා යන්න තිබුණා. බත් පතට වහ ටිකක් දාලා දෙන්න තිබුණා.

තන්තිරිමලේ හිටපු රජමහා විහාරාධිපති ඝාතනය කළා. කවුරුත් දන්නේ නෑ කවුද ඝාතනය කළේ කියලා. මම මේ ප්‍රකාශය කළේ ත්‍රිවිධ හමුදාවට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට පොලිසියට විරුද්ධව නොවෙයි. මේ හමුදාවේ භටයෝ කෙහේ කඳවුරක, කාගේ අනුමැතියෙන්ද මෙහෙට එව්වෙ කියලයි අපි ප්‍රශ්න කළේ.

(බී.ජී. චතුරංග)