කොළඹ 07 විජේරාම පාරේ නිවසක තනිවම ජීවත් වූ 75 හැවිරිදි සංගීත ගුරුවරියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් අධිකරණ වෛද්‍යවරයා ලබා දෙමින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ ගෙල සිර කිරීමක ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින් සහ ඇගේ මරණය සිදුව ඇති ආකාරය ගැන තවදුරටත් විද්‍යාගාර විමර්ශනයක් ඔස්සේ කරුණු තහවුරු කර ගැනීමට මෙසේ සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව ද එම නිලධාරියා කීය.
මේ තත්ත්වය මත පොලිසිය මෙම මරණය ඝාතනයක් ලෙස සලකා ඉදිරි විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් කරනු ලබන විමර්ශනවලට අමතරව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට විමර්ශන පැවැත්වීමේ වගකීම පැවරීමට කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන් අබේවර්ධන මහතා පියවර ගෙන තිබේ.
මෙසේ අබිරහස් ලෙස මරණයට පත්ව සිටින්නේ මිත්‍රානි ප්‍රනාන්දු ස්මිත් නමැති තැනැත්තියකි. ඇය කොලොන්නේ පදිංචිකාරියක් බවත් විවහායෙන් පසු සැමියා සමඟ මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ව්‍යාපාරිකයෙක් වන සැමියා වසර දෙකකට පමණ පෙර මිය යාමෙන් පසු මෙම නිවසේ ඇය තනිවම ජීවත්ව ඇතැයි පොලිසිය කියයි. ඇගේ මරණය සිදුව ඇත්තේ පසුගිය 15 වැනිදාය.
15 වැනිදා සවස් කාලයේ සිට ඇගේ නිවසේ දොරගුළු තිබී ඇත්තේ විවෘතවය. මෙම තැනැත්තියකගේ බාල සහෝදරයා වන නීතිඥවරයෙකුගේ පුතා ඔහුගේ මෝටර් රථය නවතා තබන්නේ මෙම නිෙවස පිහිටි ගෙවත්තේ බව පොලිසිය කියයි. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන ඔහු පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ මොරටුවේය. ඇගේ නිවසේ දොර ජනේල් විවෘත කර විදුලියද විසන්ධිව ඇති බව 119 හරහා පොලිසිය දැනුම්වත් කර ඇත්තේ එම පුතාය.
එම පණිවුඩයට අනුව කුරුඳුවත්ත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇගේ සිරුර නිවසේ බිම මුණින් අතට වැටී තිබී හමුවී ඇත. වහාම ක්රියාක්මක වූ පොලිසිය එම ස්ථානයට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ගෙන්වාගෙන තිබේ. මුණින් අතට වැටී සිටි ඇයව උඩුබෙලි අතට හරවා පරීක්ෂා කර එම ගිලන් රථ සේවාවේ අය පවසා ඇත්තේ ඇය මියගොස් සිටින බවය.
පොලිසිය පවසනුයේ ඇය බිම වැටී සිටි ස්ථානයේ ලේ පැල්ලම් කිහිපයක්ද තිබුණු බවය. ඒ මුවින් සහ පපු ප්‍රදේශය ආශ්‍රිතවය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී ගොස් ඇති ආකාරයට අනුව පපු ප්‍රදේශයේ තුවාල කිසිවක් තිබී නැත. මුවින් පිටවූ රුධිරය පපු ප්‍රදේශයට ගලාගෙන ගොස් ඇති බව අනුමාන කෙරේ. එසේම ඇගේ ගෙල ප්‍රදේශය, තදින් සිර කිරීමකදී ඇතිවන ඇඟිලි සලකුණු කිහිපයක් ද විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත. ඇගේ සැමියා වසර එකහමාරකට දෙකකට පමණ පෙර මියගොස් ඇති බවත් එතැන් සිට මෙම නිවසේ තනිවම ඇය වාසය කර ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. ඇයට දරුවන්ද නොමැති බව පොලිසිය කියයි.
ඇයව කිසියම් අයෙක් ගෙල සිර කර ඝාතනය කර එය විදුලි සැර වැදීමකින් සිදු වූ මරණයක් බව පෙන්වීමට උත්සාහ දරා තිබේ දැයි සැකයක්ද මේ වන විට මතුව තිබේ. ඒ ඇය මියගොස් වැටී සිටි ස්ථානයේ පොළොව ඔප දමන යන්ත්‍රයක් තිබීමත් එහි වයරය පළුදූ වී තිබීමත් නිවසේ ට්‍රිප් ස්විචය අක්‍රිය වී තිබීමත් හේතුවෙනි. ඇගේ සිරුර හමුවන විට මුළුතැන්ගෙයි තිබී සෝදා පිරිසිදු නොකළ තේ කෝප්ප තුනක්ද පොලිසියට හමුවී තිබිණි. එම එක් තේ කෝප්පයක තේ තිබී ඇත්තේ අඩක් ඉතිරිවය. එම තේ කෝප්පවල තිබී ඇඟිලි සලකුණු කිහිපයක් ද පොලිසියට හමුවී ඇත. ඒ හැරුණු කොට රොටි 09ක් ද තිබී හමුවූ බව පොලිසිය කියයි. එම රොටි සකස් සර ඇත්තේ මෙම ගුරුවරිය බව මේ වන විට අනාවරණය වී ඇත. රෝටි සකස් කර ඇත්තේ ගෑස් ළිපේ තබාය. එහෙත් එම ළිප පත්තු කිරීමට අවශ්‍ය ගෑස් සිලින්ඩරය ඇගේ මරණයත් සමඟ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. මේ හැරුණු කොට නිවසේ තිබුණු ලැප්ටොප් එකක් සහ ඇය පරිහරණය කළ ජංගම දුරකතනය ද අස්ථානගතව ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ඒ හැරුණු කොට මෙම නිවසේ කිසිදු දේපොළක් සොරාගැනීමට ලක්ව ඇති බවට සාධක නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
සැබෑ ලෙසම සොරෙක් මෙම නිවසට ඇතුළු වී මෙම දේවල් සොරාගත්තේද නැතිනම් සොරකමක් සිදුවී ඇතැයි පෙන්වා ඇයව සැලසුම්සහගතව මරා දැමුවේ දැයි යන්න ගැන පවා විමර්ශන කණ්ඩායම් සිය අවධානය යොමු කරමින් පරීක්ෂණ පවත්වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන පවත්වන බව පොලිසිය කියයි. තේ කෝප්පවල ඇති ඇඟිලි සලකුණු කාගේදැයි සොයා විමරශන ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මියගොස් සිටින ගුරුවරිය පියානෝ වාදනය සම්බන්ධයෙන් දක්ෂ ගුරුවරියක් බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. ඇගෙන් සංගීතය ඉගෙනුමට පැමිණෙන ළමුන් හඳුනාගෙන ඒ අයගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. ඒ හැරුණු කොට මෙම නිවස අවට නිවෙස්වල ඇති ආරක්ෂක කැමරා දර්ශන ද පරීක්ෂා කරමින් සැකකටයුතු පුද්ගලයින් නිරීක්ෂණය කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබුණි.
මියගිය සංගීත ගුරුවරියගේ සැමියා මීට වසර එකහමාරකට පමණ ඉහතදී මිය ගොස් ඇති අතර රුපියල් කෝටි ගණනාවක් වටිනා දෙමහල් නිවෙස සහිත ඉඩම ආගමික මධ්‍යස්ථානයකට පැවරීමට යම් එකඟතාවක් දෙදෙනා අතර තිබූ බවට තොරතුරු ද ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මේ හැරුණු කොට මෙම කාන්තාව ජීවත්වූ නිවසේ අයිතිය හා ඊට උරුමකම් කියන පිරිස් සිටී දැයි සොයාද විමර්ශන පවත්වන බවත් එම විමර්ශන පවත්වනුයේ මෙම මරණය තවමත් අබිරහසක්ව පවතින් බැවින් සෑම පැතිකඩක් ගැනම සොයා බැලිය යුතු යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ
0 Comments