moragahahena-drug-nabbed

ඩුබායි රාජ්‍යයේ සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු, රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා හෙරොයින්
මත්කුඩු තොගයක් සහ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ටොයොටා හැරියර් වර්ගයේ මෝටර් රථයත් සමග අත්අඩංගුවට ගත් බව පානදුර  වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 347යි මිලිගෑම් 200ක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරගහේන කෝරළඉම ප්‍රදේශයේ සුවිසල් තෙමහල් නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම බළකායේ බුද්ධි අංශ නිලධාරීන් වන උපපොලිස් පරීක්ෂක සදරුවන් සහ පොලිස් සැරයන් (428) ජයලාල් නිලධාරියා යොදවා රහසිගතව තොරතුරු පරීක්ෂාවකින් අනාවරණය කර ගත් තොරතුරු අනුව "යුක්තිය" මෙහෙයුමට සමගාමීව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම කළ බව පොලීසිය කියයි.



මීට වසර කිහිපයකට ඉහතදී පොලිස් වෙඩි පහරින් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "රත්මලානේ රොහා" නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මෙහෙය වනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමේ නායකයකු වශයෙන් නම් දරා සිටින සනා  නැමැත්තා මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන සැකකරු මොරගහහේන කෝරළඉම තේවත්ත පාර සුවිසල් තෙමහල් නිවසකදී හොරයින් මත්කුඩු මිලිගෑම් 8200ක් සමග අත්අඩංගුවට ගත් බවද එම සැකකරු ඩුබායිහි සිටින සනා  නමැත්තාගේ මස්සිනා බවද පොලීසිය කියයි.

වැටලීම කළ පොලිස් නිලධාරීන් සුඛෝභෝගී නිවස තුළ රැඳී සිටින අවස්ථාවේදී ඩුබායි රාජ්‍යයේ සිට රෝමින් තාක්ෂණය ඔස්සේ නිවසට දුරකථන ඇමතුමක් ලබාගෙන වැටලීම සිදු නොකරන ලෙසත් රුපියල් කෝටි 10 අධික වටිනාකමින් යුතු නිවස සහ කෝටි 2 අධික වටිනාකමින් යුතු මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශනය නොකරන ලෙසත් ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන "සනා" හඬා වැලපෙමින් ආයාචනා කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.



අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිය මස්සිනා  වන සනා  නමැත්තා විසින් ලබා දෙන ලද මත්ද්‍රව්‍ය කොහුවල කළුබෝවිල භාතිය මාවතේ නිවසක පුද්ගලයකුට සඟවා තබා ගැනීමට ලබා දුන් බවට අනාවරණය කළ තොරතුරු අනුව එම නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 339 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

කෝරළඉම නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරු මොරගහහේන පොලීසියේද, කළුබෝවිලදී අත්අඩංගුවට ගත් සැකකරු කොහුවල පොලීසියේද දින හතක කාලයක් රඳවාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ නියෝග හා උපදෙස් අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත  කුමාර ඇතුළු පිරිසක් වැටලීම සිදුකළහ.

බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන්  ජයසිංහ