පිරිමි වෙස් ගෙන හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු හැඩි දැඩි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකකට අධික මත්කුඩු තොගයක් සමඟ ගල්කිස්ස පොලිසිය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ ඇය පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථය සහ සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 9050ක් ජාවාරමෙන් උපයා ගත් රුපියල් 23000 මුදලක් ඩොලර් නෝට්ටු 100ක් හා ඒ.ටීම්.එම්. කාඩ්පත් කිහිපයක්, ජාවාරම සඳහා යොදා ගත් ජංගම දුරකතන 3ක් පොලිස් භාරයට ගෙන ඇත.
ප්‍රංශයේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'රත්මලානේ කුඩු අංජු 'ගේ මත්කුඩු සැකකාරිය මෙලෙස බෙදා හැර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් මැලිබන් හන්දිය ආසන්නයේ ඊයේ (22) අලුයම 1ට රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී මොරටුව දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් පසුපස හඹා ගොස් නවතා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටීමේදී කාන්තාවගේ රුවක් සහ නමක් තිබෙන බලපත්‍රයක් පොලිස් නිලධාරීන් වෙත රියදුරු ලෙස සිටි පුද්ගලයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී, කොණ්ඩය කොටටම කපා වර්ණ ගන්වා සිටි කාන්තාව ශරීරයේ සැමතැනම පච්චා කොටා තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව පොලිස් කොස්තාපල්වරියක් ලවා සැකකාරිය පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
බඩෝවිට පදිංචි 28හැවිරිදි තැනැත්තියක් වන සැකකාරිය 2016 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම වෙස් වලාගෙන සිදුකර ඇති බවත් කිසිදු අවස්ථාවක පොලිස් අත්අඩංගුවට පත්වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි රොහාන් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දීලිප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්.ඕ.ටී. අධිකාරි, උප පොලිස් පරීක්ෂක කළුබෝවිල, පොලිස් කොස්තාපල්වරුන් වන (11746) බණ්ඩාර, (27765) ප්‍රභාත්, (28406) ඒකනායක, (98631) දසනායක (98609), සල්ගාදු (104007) මහත්වරු පරීක්ෂණ පවත්වති.
ගල්කිස්ස ෂෙහාන් ජයවර්ධන සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ
0 Comments