musammil-sequrity-issue

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ ආරක්ෂක රාජකාරී සිදු කරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයාට පිටකොටුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසල නින්ද ගිය අතරවාරයේදී පිස්තෝලය, ජීව උණ්ඩ ඇතුළු සෙසු උපකරණ රැසක් සොරාගෙන ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

සොරාගෙන ගොස් තිබූ දේපළ අතර එන් පී 22 වර්ගයේ පිස්තෝලය, එයට යොදන ජීව උණ්ඩ 24ක්, මැගසින් 2ක්, අවි රදවනයක් ,මැගසින් රඳවනයක් මෙන්ම ඔහුගේ ඇඳුම් බෑගයද වේ.



පොලිස් සැරයන්වරයා රාජකාරී විවේකයෙන් පසු ඔහුගේ මාතලේ පිහිටි නිවසට යාම සඳහා ඉකුත් 7 දා පිටකොටුව ඕල්කට් මාවතට පැමිණ ඔහුගේ ඇදුම් බෑගය ඔහු හඳුනන වෙළෙඳ සැලක් තුළ තබා ගිනිඅවිය සහ උණ්ඩ දමා තිබූ බෑගය පමණක් රැගෙන තවත් පොලිස් සැරයන්වරයකු සමග එම වෙළෙඳ සැලෙන් පිටව ගොස් තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

මෙම නිලධාරියා නැවත ඕල්කට් මාවතේ වෙළෙඳ සැල වෙත පැමිණ ඇදුම් බෑගය රැගෙන එයට ගිනිඅවිය හා උණ්ඩ සහිත බෑගය ද දමාගෙන පිටකොටුව බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත.

නිලධාරියා ඇඳුම් බෑගය ඔහු අසලම තබාගෙන කම්බි වැටක් අසල නින්ද ගොස් තිබූ අතර පසුදින (8දා) අලුයම එකයි තිහට පමණ ඔහු අවදි වී බැලීමේදී ඇඳුම් බෑගය ඇතුළු සියල්ල නොමැති වීම පිළිබඳ මිතුරාට දුරකථනයෙන් දැනුම් දී තිබූ බව නිලධාරියා කීය.

අනතුරුව දෙදෙනාම පැය කීපයක් පුරා ඇඳුම් බෑගය පිටකොටුව බස් නැවතුම පුරා සෙව්වද සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව මේ බව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාද දැනුම් වත් කිරීමට පියවර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

මේ පිළිබඳ පොලිස් සැරයන්වරයා විසින් 10දා පිටකොටුව පොලීසිය වෙත පැමිණිලි කර තිබිණ.

පිටකොටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සීලෝගම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. කේ. අනුරජිත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
 බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන් ජයසිංහ