muthurajawela-natural-gas

ශ්‍රී ලංකාවේ දෙවන ස්වාභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු 2026 වසරේදී අවසන් කිරීමට නියමිතව ඇත. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාව මෙගාවොට් 350කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750ක් ලෙස සඳහන් වේ.



මෙම බලාගාරය ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සඳහා අත්සන් තැබූහ.

රාජ්‍ය හා පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම් සුදුසු පරිදි යොදවන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම සංස්ථාවට උපදෙස් දී ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ඉඩම ලබා දීමෙන් රුපියල් මිලියන 720ක ආදායමක් උපයන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහන් කරයි.



මෙම විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාළව භූගත නළ මාර්ග පද්ධතියක් (ඩීසල් හා සිසිලන ජලය) ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුතුරාජවෙල පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30කට බදු දීමට අදාළ ගිව්සුමකටද මෙහිදී සභාපතිවරු විසින් අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේද මේ ආශ්‍රිතවයි. එහි ඉදිකිරීම් කටයුතු 2021 වසරේදී ආරම්භ කෙරුණු අතර ඉදිකිරීම් වසර 3ක කාලයකින් අවසන් කිරීමට නියමිතය. මෙම විදුලි බලාගාරය මෙගාවොට් 350ක විදුලි ධාරිතාවකින් යුතු වන අතර බලාගාර දෙක ඉදිකර අවසන් වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි ධාරිතාව මෙගාවොට් 700කි.

  නවෝද්‍යා පවනි