nalaka-silva-free

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (06) නියෝග කළේය.

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි චෝදනා කරමින් නාමල් නමැත්තකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහාතට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.



ඒ අනුව මෝසමක් මාර්ගයෙන් නඩුව ඊයේ (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබුණේ නාලක ද සිල්වා මහතාට එරෙහිව මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. නාමල් කුමාර නමැත්තෙකුගේ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 දී ආරම්භ කරනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා නාලක සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පස් වතාවක්ම පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 වසරේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඉකුත් 2019 වසරේ මැයි මස 21 වැනිදා නාලක ද සිල්වා මහතා රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළ අතර

එහිදී ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබීය.

අනතුරුව නාලක ද සිල්වා ගොනු කළ අභියාචනයකට අනුව පොලිස් කොමිසමේ නිර්දේශ මත ඔහු 2023 මාර්තු මාසයේදී පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර සේවයේ පිහිටුවනු ලැබීය. එහිදී වැටුපෙන් අඩක් පමණක් ලබාදීම, බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීම ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් පැනවීමටද පොලිස් කොමිසම පියවර ගත්තේය.

විමුක්ති එස්. රුද්‍රිගු