ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා කෘතහස්ථ ග්‍රන්ථ කතුවරයෙකුවූ නන්දසේන සූරියආරච්චි මහතා අභාවප්‍රාප්ත වූයේය.මියයනවිට 78 වන වියෙහි පසුවූයේය. වසර 50 කට වැඩි කාලයක් දිනමිණ, සිළුමිණ, දිවයින, රිවිර ඇතුළු පුවත්පත් ගණනාවක කතුවරයෙකු ලෙස සේවය කළ ඔහු ලියා ඇති ග්‍රන්ථ ගණන 55 ක් පමණ වේ.
දකුණු පළාතේ බද්දේගම උනන්විටියේදී 1945 මාර්තු 27 වෙනි දින උපන් නන්දසේන සූරියආරච්චි වැලිවිටිය මහා විද්‍යාලය,ගාල්ල විද්‍යා ලෝක මහ විද්‍යාලය සහ හොරණ විද්‍යාරත්න විද්‍යාල වලින් පාසැල් අධ්‍යාපනය ලබා කැළණිය විශ්ව විද්‍යාලයට (එවක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය) පිවිසුණේය.
1966 දී අන්තර් විශ්ව විද්‍යාලයීය කෙටිකතා තරග ජයග්‍රහණය කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය.1967 විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංස්කාරක ධූරයත්, එම වසරේදීම විශ්ව විද්‍යාලයීය නිදහස් පක්‍ෂ ශිෂ්‍ය සංගමයේ උප සභාපති ධුරයත් දැරුවේය.
සරසවි සමයේ සිටම පුවත්පත් ලේඛකයකු ලෙස කටයුතු කළ නන්දසේන සූරියආරච්චි 1969 වසරේ 'උදය' පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙස වෘත්තීය දිවියට පිවිසියේය. 1969 ලේක්හවුස් ආයතනයට බැදුණු හෙතෙම 'දිනමිණ' හා 'සිළුමිණ' කර්තෘ මණ්ඩලයේ වසර 12ක සේවයේ නියුතු විය. 1981 දී උපාලි පුවත්පත් සමාගමේ 'දිවයින' පුවත්පතේ ආරම්භක කර්තෘ මණ්ඩලයට එක්වී වසර 13 ක් පමණ එහි සේවය කළේය.
දේශපාලන ලිපි, කලා හා විශේෂාංග රචනයෙහි දස්කම් දැක්වූ ඔහු ලියූ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ‘, ‘දිඹුලාගල හාමුදුරුවෝ‘, ‘මඩුවන්වෙල මහ දිසාව‘,‘බොරලුගොඩ දේශපාලනය‘, ‘සිංහලේ සිංහයා සර්ජෝන්‘ ඇතුළු පුවත්පත් ලිපි මාලා පසුකාලීනව ඉහළ ජනප්‍රියත්වයට පත් ග්‍රන්ථ ලෙසද ප්‍රකාශයට පත්විය.
ග්‍රන්ථ කතුවරයකු ලෙස චරිත කතා, විචාර මෙන්ම නවකතා රචනා කර ඇති නන්දසේන සූරියආරච්චි පොත් 55 කට ආසන්න ගණනක් රචනා කළේය. සූරියආරච්චි මහතාගේ බිරිය ඩල්සි විශ්‍රාමික ගුරුවරියක වන අතර දියණිය යසෝදරා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරයි. පුතු ධනංජය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකි.
නන්දසේන සූරියආරච්චි මහතාගේ දේහය අංක 9, කාශ්‍යප පාර, ඇන්ඩර්සන් පාර, කළුබෝවිල නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 30 සෙනසුරාදා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකරන්නට නියමිතය.
0 Comments