old-duo-killed-settikulam

වවුනියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය අයෙකුගේ වයෝවෘද්ධ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබියදී ඊයේ (30දා) දින ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බව සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, පියා වූ පසුපති වර්ණකුලසිංහ (අවු.72) සහ මව වූ වී. කණකලක්ෂ්මි (අවු.68) නමැත්තන්ය.

සෙට්ටිකුලම නගරයේ මියගිය අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ පුතාද එක්ව වෙළෙඳ සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර,

වෙළෙඳ සැල පෙරේදා රාත්‍රියේ වසා දමා ඊයේ උදෑසන විවෘත කරන විට වෙළෙඳ සැල පිටුපස නිදාසිටි සිය මව සහ පියා කුරිරු ලෙස ඝාතනය කොට සිටි බව ඔවුන්ගේ පුත්‍රයා විසින් පොලීසියට ප්‍රකාශ කරනු ලැබ තිබේ.

සෑම දිනකම සවස් කාලයේ වෙළෙඳ සැල වසා දමා මියගිය අයගේ පුතා ඔවුන්ගේ නිවසට යන අතර, මව සහ පියා වෙළෙඳ සැලේ ආරක්‍ෂාවට එහි රාත්‍රිය ගත කරන බවද ඔහු පොලීසිය වෙත පවසා ඇත.

එලෙසින් පෙරේදා රාත්‍රියේ වෙළෙඳ සැල වසා දමා නිවසට ගොස් ආපසු ඊයේ උදෑසන වෙළෙඳ සැල විවෘත කිරීමේදී පිටුපස සිය මව සහ පියා ඝාතනය කොට සිටි බවටද පුතා විසින් පොලීසියට වැඩිදුරටත් පවසා ඇත.

සිද්ධිය වූ ස්ථානයට ගිය පොලීසිය එහි තිබී මියගිය අයගේ සිරුරු ආසන්නයේ වූ තියුණු පිහි 3ක්ද සොයාගෙන ඇති අතර,

එම පිහිවලින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මියගිය මව සහ පියා සන්තකයේ තිබූ පවුම් 5කට අධික රන් ආභරණද අතුරුදන් වී ඇති අතර, වෙළෙඳ සැල හෝ රන් ආභරණ කොල්ලකෑමට ආ අයෙක් හෝ පිරිසක් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයිද පොලීසිය සැක පළ කර සිටියි. ‍

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවසත්වයි.

 වවුනියාව - මධුෂංක අමරසිංහ