parliament-bus-pass-no-more

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලයේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට දෙන බස් ගමන් බලපත ජනවාරි 31 වැනිදායින් පසු අහෝසි කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.මෙම බස් ගමන් බලපත ලබන මස 1 වැනිදායින් පසු අහෝසි කිරීමට මුලින් තීරණය කර තිබිණ. යම් යම් ඉල්ලීම් හේතුවෙන් බලපත වලංගු කාලය මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.





බස් ගමන් බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කරමින් පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කරනු ලැබ ඇත. එසේම පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය සඳහා ගමනාන්ත නවයක් සඳහා යොදවනු ලැබ ඇති ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ සේවාව ද ලබන මස 31 වැනිදා දක්වා දැනට පවත්වාගෙන යන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එකඟවී ඇතැයි එම චක්‍ර ලේඛයේ සඳහන් වේ.



ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට දෙන මෙම බස් බලපත වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වසරකට රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වෙන් කරන බව පැවසේ. පවතින ආර්ථික තත්වය හේතුවෙන් එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කළ හැක්කේ රුපියල් කෝටි තුනක් පමණක් බව භාණ්ඩාගාරය දන්වා ඇත.

සුජිත් හේවාජුලිගේ