peradeniya

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ විදේශීය සිසුන් 150කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන බවත්, බෞද්ධ දර්ශනය හැදෑරීම  සඳහා චීනයෙන් තවත් සිසුන් පිරිසක් එක්වීමට නියමිත බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි . පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේදී පෙරේදා (16දා) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අවධාරණය කළ උපකුලපතිවරයා පේරාදෙණිය

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම  සඳහා පැමිණෙන විදේශීය සිසුන්ට අවශ්‍ය පහසුකම් සහිත ආරක්ෂිත නේවාසිකාගාර ලබාදීමට පෞද්ගලික ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නම්

විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය හැදෑරීමට විදෙස් සිසුන්ට වැඩි අවස්ථා ලබාදිය හැකි බවද පැවසීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ විදෙස් සිසුන් 47 දෙනෙකුද කලා පීඨයේ පශ්චාත් උපාධි අපේක්ෂකයන් 60 දෙනෙකුද චීනයෙන් පැමිණි සිසුන් 25 දෙනෙකු විද්‍යා උපාධි අපේක්ෂකයන් ලෙසද අධ්‍යාපනය හදාරන බවත්, බෞද්ධ දර්ශනය හැදෑරීම  සඳහා තවත් විදෙස්  සිසුන් කණ්ඩායමක් ඉදිරියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වීමට නියමිත බවත් උපකුලපතිවරයා පැවසීය.ලෝකයේ වෙනත් රටවල මෙවැනි ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ඇති නගරවල ඒ අවට ජීවත්වන ජනතාව ඉන් ප්‍රතිලාභ ලබා ගන්නා බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය අවට එවැන්නක් දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම පැවසීය .

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම් ලබාදිය හැක්කේ සිසුන් 8000 කට පමණක් බව අවධාරණය කළ උපකුලපතිවරයා

විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය හැදෑරීමට  පැමිණෙන විදෙස් සිසුන් සඳහා ආරක්ෂිත නේවාසික පහසුකම් පෞද්ගලික අංශයෙන් ලබා දෙන්නේ නම් වැඩි විදෙස් සිසුන් ප්‍රමාණයකට විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලබා දිය හැකි බවද පැවසීය . පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධියට ලොව ඉහළ පිළිගැනීමක් සහ ඉල්ලුමක් තිබෙන බව පැවසූ උපඋපකුලපතිවරයා විශ්වවිද්‍යාලය මේ සියලු කටයුතු සිදු කරනු ලබන්නේ එහි ආචාර්ය මණ්ඩලයේ 20%ක අඩුවක් පවතිද්දී බවද අවධාරණය කළේය .මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය දිසානායක, කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සරත් කොඩිතුවක්කු, දන්ත පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ෂාම් බන්නහැක යන මහත්වරුද සහභාගි වූහ .

 ෂේන් සෙනෙවිරත්න