pet-scan-no-sri-lanka

මෙරට රෝහල් පද්ධතිය තුළ තිබෙන පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකේම පරීක්ෂණ කටයුතු මේ වන විට නවතා තිබෙන බවත්, මේ නිසා රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.පෙට් ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ ජාතික රෝහල තුළ හා මහරගම අපේක්ෂා රෝහල තුළ පෙට් ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කර තිබෙන බවද

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය. කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ නඩත්තු කටයුතු සඳහා පසුගිය ඔක්තෝබර් 13 වැනි දින නවතා දමා තිබෙන බවත්, මෙම යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදුකර ගැනීමට මාස හතරක කාලයක් පොරොත්තු ලේඛනවල සිටිය යුතු බවත් හෙතෙම පැවසීය.

මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නතර වී ඇත්තේ එම පරීක්ෂණ සිදු කිරීමට  අදාළ FDG ඖෂධය සැපයීම නතරවීම හේතුවෙන් බවත්, එම යන්ත්‍රයෙන් අවසන් වරට පරීක්ෂණයක් සිදුකර තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් 18වැනිදා බවත් ඒ මහතා පැවසීය.

මෙම යන්ත්‍රයෙන් අදාළ පරීක්ෂණ සිදුකර ගැනීම සඳහාත් මාස කිහිපයක පොරොත්තු ලේඛනවල සිටීමට සිදුවන බවත්, යන්ත්‍ර දෙකේම පරීක්ෂණ කටයුතු නවතා දමා තිබෙන නිසා පොරොත්තු ලේඛනගතව සිටිය යුතු කාලය තවදුරටත් දීර්ඝ වන බවත් හෙතෙම පැවසීය. පුද්ගලික අංශයෙන් පෙට් සෑන් පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකත් ලක්ෂ තුනත් අතර මුදලක් වැය වන බවත්, මේ නිසා පවතින ගැටලු කඩිනමින් විසඳා පරීක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.

 ඉන්දික  හේවාවිතාරණ