piliyandala-incident

විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික අයුරින් පහරදී බරපතළ තුවාල සිදු කළ ත්‍රිරෝද රථ රියැදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි.

කැස්බෑව පොලීසියට අනුයුක්තව අවකාලිකව ස්ථාන මාර්ග ලබා ඉඩම් ගොඩකිරීමේ හා නිරවුල් කිරීමේ කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් රණසිංහ, හා කැස්බෑව පොලිස් ස්ථානයේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් සංඛ යන නිලධාරීන් දෙදෙනා සිද්ධියෙන් තුවාල ලබා සිටිති.



සැකකරුවන් පහර දීමට යොදාගත් යකඩ පොල්ල සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.

පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනය අතරතුර රාත්‍රී 12. 45ට පමණ ක්‍රීඩාංගණයේ පිටුපස දොරටුව අසලදී සංගීත ප්‍රසංගය නැරඹීමට සිවිල් ඇඳුමින් යතුරුපැදියෙන් පැමිණ තිබූ කොස්තාපල්වරුන් දෙදෙනා රැගත් යතුරුපැදිය හා සැකකරුවන් පැමිණ තිබූ ත්‍රිරෝද රථය එකිනෙක ගැටී ඇතැයි පොලීසිය සදහන් කරයි.

එහිදී දෙපිරිස අතර බහින්බස් වීමක් හටගෙන ඇති අතර ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් විසින් යකඩ පොල්ලකින් කොස්තාපල්වරුන් දෙදෙනාට පහර දී ඇතැයි පොලීසිය පවසයි.

එහිදී පොලිස් නිලධාරින් දෙදෙනා මාර්ගයේ වැටී ඇති අතර ස්ථානයට රැස්වූ පිරිසක් විසින් නිලධාරීන් දෙදෙනා පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බව පොලීසිය පවසයි.



සිද්ධිය සැලවීමත් සමගම වහා ක්‍රියාත්මක වූ පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිද්ධියට සම්බන්ධ පස්දෙනෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබ තිබේ.

පිළියන්දල, මඩපාත හා කොළඹුන්න පදිංචි 21 - 25 හැවිරිදි පස්දෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කෙරේ.

පිළියන්දල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
  බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ